Friday, March 29, 2024

මම ගැන විශ්වාසය තබන්න. ඔබට ලබා දුන් පොරොන්දු වූ සියල්ල ඉදිරි වසර තුන තුල කරනවාමයි – ජනපති

ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 03 තුළදී ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වනවා.

එබැවින් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසයි ජනාධිපතිවරයා රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේ.

පටු විවේච්චන එල්ල කර ජනතාව අධෛර්යමත් නොකරන ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ අද මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමිනුයි.

රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් පැවසීය.

ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවට ජනාධිපතිතුමා සහතික විය. තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

මාධ්‍ය සමග තරගයක් නැහැ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්නැයි ජනාධිපතිතුමා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය. බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක්වන ලෙස සියලුම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

වර්තමානයේ ලෝකය, සමාජය, ඉතා වේගවත් ය. එබැවින් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දියුණු ප්‍රවාහන පද්ධතියක් අත්‍යාවශ්‍ය බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වල දියුණුවේ ප්‍රධාන සාධකයක් බවට විධිමත් ප්‍රවාහන පද්ධතිය පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

අධිවේගී මාර්ග තරම් විවේචනයට ලක් වූ ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. විවේචනය කරමින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ විවේචනයන්ට වචන වලින් පිළිතුරු දීමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් පිළිතුරු දීම යැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබියදීත් ජනාධිපතිතුමා සංවේදී නායකයෙකු ලෙස ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගත් ආකාරය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිහිපත් කළේය. ඉදිරි වසර තුන තුළ ජනාධිපතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ ගැන කිසිඳු සැකයක් ඇති කර නොගන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. රටේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කරන අයුරින් ඉලක්කගතව අධිවේගී සහ සෙසු මාර්ග පද්ධතිය සංවර්ධනය කර ජනතාවට භාරදෙන බවට අමාත්‍යවරයා සහතික විය.

කොවිඩ් නිසා ආදායම විශාල වශයෙන් අහිමි වු බවත් එන්නත්කරණය සහ සංචාරකයන් පැමිණීම් ඉහළ යන්නේ නම් රට ඉදිරියට ගෙන යා හැකි බවත් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියා.

කිසි දිනක ගොවියා අමතක නොකරන බවට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලේ වහාම වගා සංග්‍රාමයක් ආරම්භ කරන බවයි.

එදා තමන් වෙත විශ්වාසය තබා දුන් ඡන්දයේ ගෞරවය ආරක්ෂා කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දුන්නා.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු හා ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles