Friday, March 29, 2024

මැති ඇමතිලගෙ බඩ පුරවරන්න කෑම බිලට කෝටි නවයක් යයි. පාර්ලිමේන්තු භෝජනාගාරය වහන්නත් යෝජනාවක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ  එහි අමුත්තන්ට   ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ  නැග ඇතැයි ලංකාදීප වාර්තා නර ඇත.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම්  තවදුරටත් ඉහළ යා හැකි බව  පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ  නිලධාරීහු පවසති.

ලංකාදීප වාර්තාවට අනුව පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට  ආහාර පාන සැපයීම සඳහා 2020 වසරේදී දරා ඇති මුදල  රුපියල් අට කෝටි  හැත්තෑ  අට ලක්ෂ විසි අට දහස්  අසූ දෙකකි.

එසේම පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජල බිලද රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා කර ඇත.

ලංකාදීප වාර්තාවට අනුව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජලය සැපයීම වෙනුවෙන් 2020 වසරේදී වැයවී ඇති මුළු වියදම  රුපියල් හත් කෝටි  හතළිස් හය ලක්ෂ විසි පන් දහස්  තුන් සිය විසි තුනකි.

පවතින ආර්ථික තත්වය  යටතේ පාර්ලිමේන්තුවේ මේ  වියදම්  හැකිතාක් සීමා කරන ලෙස රජය එහි ප්‍රධානීන්ට මෑතකදී  දැනුම්දී  ඇත.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ  ආහාර වියදම්ද උපරිම සීමාවට පැමිණ ඇතැයි රජයේ  ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙි අතර ආර්ථික අර්බුදය නිමා වන තුරු පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන්නැයි තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

2020 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිලධාරී භෝජනාගාර වියදම රුපියල් කෝටි 9ක් නම් මේ වන විට පවතින භාණ්ඩ මිල ගණන් අනුව එය රුපියල් කෝටි 15ක් පමණ විය හැකි බව කී මන්ත්‍රීවරයා මෙවැනි අවස්ථාවක් එවන් විශාල මුදලක් වැයකිරීම සුදුසු නැතැයි ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හා නිලධාරී භෝජනාගාරවල වසරක වියදම රුපියල් කෝටි 9කට ආසන්න බවට ලංකාදීප අද (18) පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කුරුණෑගල දී අද පැවති මාධ්‍ය හමුවකදීය.

තමන් දිනපතා පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරයකු බවත්, පාර්ලිමේන්තුවට නිවසින් ආහාර පාර්සලයක් රැගෙන ඒමේ අපහසුතාවයක් කිසිඳු මහජන නියෝජිතයකුට ඇතැයි තමන් නොසිතන බවත් ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

භෝජනාගාරය වසාදැමීමෙන් ඉතිරිවන මුදල දුප්පත් ජනතාවගේ කුසගින්න නිවීමේ හෝ අහිංසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වූ සුභසාධන වැඩපිළිවෙලක් වෙනුවෙන් යොදවන්නැයි තමන් කතානායකවරයාගෙන්, සභානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු භෝජනාගාරයට වසරකට මෙතරම් වියදමක් දැරීමෙන් තමන් අපහසුතාවයෙන් සිටියදී මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි බව කී මන්ත්‍රීවරයා මෙවැනි අවස්ථාවක එම මුදල රට වෙනුවෙන් කැපකිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව ද කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles