Wednesday, April 24, 2024

මේ දවස්වල PASSPORT ගන්න යනවද? මොකද වෙන්නෙ??

මේ දවස් වල පාස්පෝර්ට් හදනව වැඩිද කියල අහන අයට…

මේ තියෙන්නෙ 2015 ජනවාරි ඉඳන් මේ වෙනකල් මාසිකව නිකුත් කළ පාස්පෝර්ට් ප්‍රමාණ.(පින්තූරෙ පහළ ඇති) ඇත්තටම දැන් කලින් තිබුණු සාමාන්‍ය අගයෙන් බාගයක් වත් නැති තරම්. ඇයි එහෙනම් මේ ගැන මෙච්චර කතා වෙන්නෙ?මේ මහජන ඒකරාශී වීම් තහනම් කරල තියෙන කාලෙ මෙතන පෙනෙන්න ඉන්න සේවාලාභීන් ගණන වෙන තැන් වලට සාපේක්ෂව අධිකයි. අනිත් බොහොමයක් ආයතන සේවා සැපයීම් අත් හිටුවා තියෙද්දිත් මෙතන දිගටම වැඩ. පොදු ප්‍රවාහන පහසුකම් නැති වීම, සම්පූර්ණ කාර්‍ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් සැපයීමට ප්‍රමාණවත් වාහන හා රියදුරන් නොමැති වීම නිසා වෙනද වගේ උදේ 7ට කලින් සේවා සැපයීම ආරම්භ කිරීමේ අපහසුතාවය මගින් සිදුවන ප්‍රමාදය, රෝස්ටර් ක්‍රමයට කාර්‍ය මණ්ඩලය කැඳවීම නිසා work load එක වැඩි වීම නිසා වැඩිපුර ගතවන කාලය, හැමෝම මුහුණු ආවරණය කරගෙන සිටීම නිසා ඒවා සෞඛ්‍යාරක්ෂිතව ඉවත් කර පරීක්ෂා කර පුද්ගලයින් හඳුනා ගැනීමට අමතර කාලයක් ගත කිරීමට සිදුවීම නිසා සිදුවන ප්‍රමාදය, සේවාලාභීන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීමට සිදු වීම නිසා ආයතනය ඇතුළත රඳවා ගතහැකි සේවාලාභීන් සීමිත වීම හේතුවෙන් පිටතට බොහෝ දිගු ලෙස දර්ශනය වන පෝලිම, ඊටත් අමතරව මේ එන සේවාලාභීන් අතර අඩුපාඩු සහිත අයදුම්පත් ඉදිරිපත්වීමේ ප්‍රවණතාවය වැඩී, ඒ ප්‍රශ්න විසඳන්න අමතර කාලයක් සහ ශ්‍රමයක් දරන්න වෙනවා. (උදාහරණයක් විදියට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් මේ දිනවල උප්පැන්න ලබාගැනීමට අපහසු වීම, පු.ලි.දෙ. එක් දින සේවා නවත්වලා නිසා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපහසු වීම, උසස් අධ්‍යාපන ආයතන/ වෘත්තීය පුහුණු ආයතන වල සහතික ලබා ගැනීමේ ගැටළු, තානාපති කාර්‍යාල වලින් පිටරට ඉන්න පුද්ගලයින්ගේ ලිපිලේඛන සහතික කරවා ගැනීමට ඇති අපහසුතා වගේ ගොඩක් දුක්ගැනවිලි ඉදිරිපත් වෙනවා)

මේ වගේ ගොඩක් හේතු තියෙනවා.

⚠️️ කොහොම වුණත්, පාස්පෝර්ට් හදන්න එන්න හිතාගෙන ඉන්න අයට කියන්න තියෙන්නෙ, ඇප්ලිකේෂන් එක භාර දීපු ගමන් අනිත් පැත්තට පාස්පෝර්ට් එක ලැබෙනව කියල හිතාගෙන නම් එන්න එපා. අනික අර ඉහත කියල තියෙන විදියෙ අඩුපාඩු සහිත අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම පුළුවන් තරම් අවම කරගන්න.

⭕ ජාතික හැඳුනුම්පත, original උප්පැන්න සහතිකය මූලිකවම ගේන්න. (ඡායා පිටපත්/translation කියන්නෙ original නෙවි.) ඒ වගේම කලින් පාස්පෝර්ට් අරන් තියෙන නිසා ඕන නෑ කියල හරි, කලින් එකට ඉදිරිපත් කළෙත් මේකමයි කියල හරි තර්ක කරන්න එපා. ලංකාවෙ තවම මේවට centralized database එකක් නෑ. අනික උප්පැන්න සහතික වල සහතික අංකය, උපන් ස්ථානය, රෙජිස්ට්‍රාර්ගෙ අත්සන, දැනුම් දුන් කෙනාගේ තොරතුරු හා අත්සන, ලියාපදිංචියට අදළ වගන්තිය හා ලියාපදිංචි දිනය (ඒකත් translation වලදි වරද්දනවා) හැරුණම අනිත් සියල්ල සංශෝධනය කළ හැකියි. උපන් දිනය/ ස්ත්‍රී-පුරුෂ භාවය පවා…

⭕ හැඳුනුම්පත් අංක වෙනස් වීමක් වුණා නම් ඊට අදාළව පු.ලි.දෙ. විසින් නිකුත් කරන ලද ලිපියක් ඇත්නම් ගේන්න.

⭕ මින් පෙර ගමන් බලපත්‍ර ලබාගෙන ඇත්නම් ඉන් අවසාන එක ගේන්න. ඒක නැති වෙලා නම් පොලිස් පැමිණිල්ලේ පිටපතක්/ තාවකාලික ගමන් බලපත්‍රයක් (තිබේ නම්) ගේන්න.

⭕ පිටරටක උපන් අයෙක් නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ පුරවැසි සහතිකය අනිවාර්‍යෙන් ගේන්න.

⭕ ද්විත්ව පුරවැසියෙක් නම් එම සහතිකය හා අනෙක් රටෙහි විදේශ ගමන් බලපත්‍රය ගේන්න.

⭕ වෘත්තිකයෙක් නම් ඊට අදාළ අධ්‍යාපන සහතික/ලියාපදිංචි සහතික හා සේවා සහතික/ බලපත්‍ර ගේන්න.

⭕ සමාගම් අධ්‍යක්ෂ වගේ තනතුරු ඇතුළත් කළ යුතු නම් සමාගම් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් ඊට අදාළ සහතික කළ ලේඛන ගේන්න.

⭕ වයස 16ට අඩු දරුවන් සඳහා අම්ම, තාත්ත ලංකාවෙ ඉන්නව නම් අනිවාර්‍යෙන් එන්න. අම්ම/තාත්ත/දෙදෙනාම පිටරට නම් තානාපති කාර්‍යාලයෙන් සහතික කළ ගමන් බලපත්‍ර පිටපතක් හා දරුවාට ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට එකඟතාවය පළ කරන ලද ලිපියක් ගේන්න. මවුපියන් දික්කසාද වී ඇත්නම් ඊට අදාළ අවසන් උසාවි තීන්දුව ගේන්න. දරුකමට හදාගත් දරුවන්ට එම සහතිකය ගේන්න.

⭕ රාජකාරි/ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නිර්දේශ ගේන්න.

⭕ කසාදයෙන් පසුව ස්වාමියාගේ වාසගම භාවිතා කරනව නම් කසාද සහතිකය/ දරුවකුගේ උප්පැන්න සහතිකයක් ගේන්න.

⭕ රියදුරු බලපත්‍ර/ රාජකාරි හැඳුනුම්පත් වගේ දේවලුත් ළඟ තියාගන්න.ජාතික හැඳුනුම්පත් හානි වූ/ අපැහැදිලි වූ අවස්ථාවක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. (ඒකෙන් කියන්නෙ නෑ ජාතික හැඳුනුම්පත නැතිව ඒවයෙන් පාස්පෝර්ට් ගන්න පුළුවන් කියලා)⭕ ඡායාරූපය ලියාපදිංචි ස්ටුඩියෝ එකකින් ගන්න. බැරි වුණොත් පරිශ්‍රය ඇතුළතත් එකක් තියෙනවා.

⭕ අයදුම්පත් වෙබ් අඩවියෙන් අරගෙන පුරවගෙන එන්න පුළුවන්. බැරි වුණොත් ඒකත් පරිශ්‍රය ඇතුළතින් කරගන්නත් පුළුවන්.අර කලින් කියපු ලේඛන වලින් අදාළ ඒවයෙ ඡායා පිටපත් ඕන. ඒකත් ඇතුළෙන් කරගන්නත් පුළුවන්. හැබැයි ඔක්කොම එතනින් කරගන්න බලාගෙන ආවොත් වෙලාව යනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ දේවල් සම්පූර්ණ කරගෙන එන්න.


🚫🚫🚫 විශේෂයෙන් කියන්න තියෙන්නෙ,

හදිසියක් නැත්නම් එන්නම එපා. මොකද මෙතන රටේ හැම පැත්තෙන්ම ආපු අය මෙතන ඉන්නවා. ඒ අතර කොවිඩ් 19 වැළඳුණු අයත් කිහිප දෙනෙක් වත් නැති වෙන්න බෑ. අනවශ්‍ය අවදානමක් ගන්න එපා…!

🚫🚫🚫 ව්‍යාජ ලේඛන අරගෙන එන්න එපා. එහෙම ගෙනත් අදාළ කවුන්ටරයෙන් භාර දීලා, ඇඟිලි සලකුණු දීලා, සල්ලි ගෙවලා යන්න පුළුවන් වෙයි. නමුත් අයදුම්පත්‍ර වඩාත් පළපුරුදු නිලධාරීන් අතින් යළි යළිත් පරීක්ෂා වෙනවා. එහිදී සැකසහිත ලේඛන හමු වුවහොත් විශ්වාසනීය ලේඛන ඉදිරිපත් කරන තෙක් අයදුම්පත්‍රය රඳවා තබා ගන්නවා. ඊට අසමත් වුවහොත් බලපත්‍රය හා මුදල් යන දෙකම ඔබට අහිමිවෙනවා.

🚫🚫🚫 වෙනස් ලේඛන ඉදිරිපත් කර බලපත්‍ර කිහිපයක් ලබා ගන්න උත්සාහ කරන්න එපා. ඔබේ ජෛවමිතික දත්ත, පද්ධතියේ ඇති වෙනත් තොරතුරු සහිත බලපත්‍රයක් හා සැසඳුණොත් එවන් අයදුම්පත්‍රද අත්හිටුවනවා. බලපත්‍රය නිකුත් කිරීමෙන් තොරව ඔබේ මුදල් රජයේ ආදායමට බැර වෙනවා.


⚠ අයදුම්පත්‍රය භාර දීමෙන් අනතුරුව ගමන් බලපත්‍රය සැකසීමට සැලකිය යුතු වේලාවක් ගත වෙනවා. අයදුම්පත්‍ර භාර දුන් පිළිවෙලටම ගමන් බලපත්‍ර ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. අයදුම්පතේ අත් අකුරු වල ඉඳලා අනෙකුත් ලේඛන වල අඩුපාඩු/human errors/system failures වගේ ගොඩක් හේතු නිසා ගත වන කාලය එකිනෙකට වෙනස්. අයදුම්පත්‍රයේ එක අකුරක වෙනසක් නිසා වුණත් එම කටයුතු ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා අයදුම්පත්‍රය භාර දෙන්න කලින් එහි නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න. ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් අනිවාර්‍යෙන් සඳහන් කරන්න. ඊට ලැබෙන ඇමතුම්/ කෙටි පණිවිඩ පිළිබඳව අවධනයෙන් ඉන්න. පුළුවන් කමක් තියෙනව නම් අයදුම්පත භාර දීල එතන රැඳෙන්නෙ නැතිව එළියට ගිහින් හවස් වෙලා එන්න (මේක ඔබේත්, අපේත් අවදානම අඩු කරගැනීම වෙනුවෙන් කරන කාරුණික ඉල්ලීමක්, දුරස්ථභාවය පවත්වාගෙන සම්පූර්ණ සේවාලාභීන් ප්‍රමාණය රඳවා ගැනීමට ඉඩ පහසුකම් නැති නිසා.) කැමති කෙනෙකුට ඊළඟ දවසෙ ඇවිත් අරගෙන යන්නත් පුළුවන්. ඔබට පෞද්ගලිකව එන්න බැරි නම් ඔබ වෙනුවෙන් එය ලබාගන්න වෙන කෙනෙකුට බලය පවරන්න පුළුවන්. ඒ සඳහා ඔබේ ලදුපතෙහි අදාළ පුද්ගලයාගේ නම්, හැඳුනුම්පත්/ගමන් බලපත්‍ර අංකය සඳහන් කර අත්සන් තබා අයදුම්පත්‍රය පරික්ෂා කළ භාරගත් නිලධාරියා වෙතින් එය සහතික කරවා ගන්න. පසුව එවන ලියුම් වල විශ්වාසනීයත්වය තහවුරු කරගැනීම වෙනම කාලයක් හා ශ්‍රමයක් වැය කළ යුතු වෙන නිසා. විශේෂයෙන්, විශ්වාසවන්ත අයෙක් වෙත පමණක් බලය පවරන්න. ගමන් බලපත්‍රය යනු ඔබේ අනන්‍යතාවය නිසා.

⚠️️ ගෙවීම් කරන්නේ අයදුම්පත්‍රය භාර දීම හා ඇඟිලි සලකුණු ලබා දීම (අවුරුදු 16-60 අතර පමණයි) අවසන් වූ පසු. ඉන් පෙර කිසිවකුට මුදල් දෙන්න යන්න එපා. ගෙවීම් අදාළ සරප් කවුළු වෙත පමණක් කරන්න. අල්ලස් ගැනීම වගේම දීමත් වරදක්. ඔබේ කාර්‍යය කඩිනම් කරවා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට කිසියම් අයෙක්ට අල්ලස් ලබා දී, එය නොකෙරුණු විට පැමිණිලි කිරීමෙන් ප්‍රයොජනයක් වෙන්න තියෙන ඉඩ සීමිතයි, ඔබට එය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම්.

⚠️️ ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණ?
▶️ එක්දින සේවයට 15000 (වයස 16ට අඩු අයට, අවුරුදු 3ට ගන්නව නම් 7500.)
▶️ සාමාන්‍ය සේවයට 3500 (වයස 16ට අඩු අයට, අවුරුදු 3ට ගන්නව නම් 2500.)
▶️ වලංගු බලපත්‍රයක් අස්ථානගත වී ඇත්නම් 11500ක දඩ මුදලක් අය කරනවා.
▶️ කල් ඉකුත් වුණ බලපත්‍ර අලුත් කරල නෑ කියල නම් දඩ අය කරන්නෙ නෑ.
▶️ සංශෝධන සඳහා (4,5,6,පිටු) එක් සංශෝධනයකට 1000 බැගින්

⚠ card payments/ online transfer තියෙනවද?තවම නැහැ. ඉදිරියේදී ඒ පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. එතෙක් මුදලින් ගෙවීම් කළ යුතුයි. නමුත් BOC ATM යන්ත්‍රයක් ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රයේ, පළමු මහලේ තියෙනවා.

⚡ ඔබ පිටරට නම්, ඉහත අදාළ ලේඛන සියල්ල සමග ඔබට අදාළ තානාපති කාර්‍යාලයට අයදුම්පත්‍ර භාර දෙන්න

දර්ශනී ඩිල්හානි
ශ්‍රී ලංකා පරිපාලන සේවය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles