Friday, March 29, 2024

යුගදනවි මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවීමට නියමිතයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා. අදාළ පෙත්සම් ලබන සඳුදා (29) ආරම්භවීමට නියමිතයි.

ඇල්ලේ ගුණවංශ හිමි සහ මැල්කම් රංජිත් කාදිනල් හිමි, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් වුණි.

ඒ අනුව උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව අද අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්වල දැක්වෙන්නේ කෙරවලපිටිය බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත හිමිවන බවද එම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද පෙත්සම්වල සඳහන්.

අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකර‍ණයෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles