Friday, April 19, 2024

රට හා පන්සල් පල්ලි කෑ හොරු තක්කඩි වැජඹෙද්දී සේපාල් මරාගෙන කෑම..

සේපාල් අමරසිංහ මගේ මිතුරෙකු නොවේ. ඔහුගේ බොහෝ මතවාද මා පිළිගන්නේ ද නැත. මා ඔහු දැක ඇත්තේ ද දින දෙකක් පමණි. ඒ ජනමාධ්‍ය බොන පාටි දෙකකදීය.90 දශකයේ මැද ජනමාධ්‍ය තුළ තිබූ එකම සජීවී දේශපාලන වැඩ සටහන “ජනමණ්ඩලී” ජාතික රූපවාහිනිය තුළ මා මෙහෙයවන විට ඊට හැමදාම ඇමතුමක් ගෙන “බෙල්ලන්විල සේපාල් අමරසිංහ” නමින් ඇමති ගෙන් හොම්බෙන් යන ප්‍රශ්නයක් ඇසූ ප්‍රේක්ෂකයා ඔහුය. එම වැඩ සටහනට ලක්ෂ ගණනක් ඇමතුම් ගැනීමට උත්සාහ කරන පසුබිමක සේපාල් හැමදාම කෝල් ගන්නේ කෙසේද යන්න රූපවාහිනියේ අයටත් ප්‍රශ්නයක් විය.

සේපාල් මීඩියා උණක් තිබූණු රට හා ලෝකය ගැන දැනුමක් අවබෝධයක් තිබෙන දක්ෂ මිනිසෙකු බව මා තීන්දු කළේ ඒ කාලයේය.මම ලංකාදීපයේ විශේෂාංග කර්තෘ ලෙස හා පසුව ස්වාධීන රූපවාහිනියේ “වන් ටු වන්” දේශපාලනික වැඩ සටහන් කරන කාලේ සේපාල් කල මාධ්‍ය කටයුතු මොනවාදැයි මට මතක නැත. ඔහු විවිධ පත්තර වල ලිපි ලියූ බව මා අසා තිබේ. එහෙත් ඔහු මාධ්‍ය ක්ෂ්‍රේත්‍රය අතික්‍රමනය කළේ යූ ටියුබ ය හරහාය.

ඔහු එහිදී අදීනව හා ගවේශනාත්මකව මෙන්ම රටතුළ සංවාදයක් ගොඩ නැගිය හැකි මට්ටමේ ප්‍රබල කටයුතු සිදු කළේය. එහෙත් දේශපාලනිකව ඔහු හැමදාම හිටියේ අනාථ ස්ථාවර වල බව බොහෝ අයගේ මතයය.. රටට වින කල බව අද ඔහුම කියන ගෝටාට කඩේ ගිය ඔහු පසුව ජවිපෙට කඩේ ගියේය. මාධ්‍යකරුවෙකුට දේශපාලනයක් තිබුණ ද රෙදි නැතුව පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමට දගලනවිට එවැනි අය රට පිළිගන්නේ නැත. සේපාල් එම ඉරණමේ ගොදුරකි. මට ද දේශපාලන මතයක් තිබේ. මා රනිල් සජිත් ලාගේ හිතවතෙකු බව සමහරු කියති. එහෙත් ඒ එකෙකුටවත් හෙළුවෙන් කඩේ යන්නට මට අමාරුවක් නැත. රනිල්ලා සජිත්ලා ලඟ මම ඉහළ තනතුරු වල නැත්තේ ද එහෙයින්වීම ඊට නිදසුනකි.

සේපාල් ගේ වැඩසටහන් හා තර්ක විතර්ක පුබලය. ඔහු ඉංග්‍රිසි ප්‍රවීණයෙකු ලෙස ඇඟවීමට විශාල උත්සාහයක් දරයි. ඔහු එම භාෂා ප්‍රවීණයෙකු හෝ එවැන්නකු නොවෙනවාද හෝ හීනමානය තුළ එය කරනවාද යන්නත් මා දන්නේ නැත. එහෙත් ඉංග්‍රිසි වැඩේ නරක නැත. සේපාල් කනබොන පාටි වලට පැමිණ හොඳටම සප්පායම්වී පසුදා එම ස්ථානයට නිර්දය ලෙස පහර දෙන අයෙකි. එම විනයක් නැති වැඩ මම නම් කරන්නේ නැත. කාපු තැනට ගහනවාට වඩා එතනට නොපැමිණ කරුණු සොයාගෙන පහරදීම සැබෑ පිළිවෙතය. සේපාල් ගේ සුදු දිග රැවුල නිසා ඔහු වයසක පප්පා කෙනෙකු බව සමහරු සිතුවද ඔහු තවමත් මැදිවියේ සිටින තරුණකම අතනොහැරි ජවසම්පන්න අයෙකි.

ඉහත කීවේ සේපාල් ගැන මගේ කියවීමය. ඔහු දළදාවට ලබ්බ යයි කියා වාග් ප්‍රහාර එල්ල කිරීම අද මහා ප්‍රශ්නයක්වී තිබේ. යූ ටියුබ්කාරයින්ගේ භාෂාව බොහෝවිට අපේ සම්ප්‍රධායට නොගැලපන බවට මත පවතී. සේපාල් පමණක් නොව උමංදා බඩ්ඩ හා රාජංගන සිවුරු තෙමේ මෙන්ම ගවුම් අඳින ගායකයා ද ඊට නිදසුන්ය. පාර්ලිමේන්තුවේ සෘජු හා වක්‍රව කුණු හරුප හා අසභ්‍ය දේ කියන කෙතරම් අය සිටිත්ද. එහෙත් සේපාලගේ වචනය රටේ බහුතර හැත්තට ඇලජික් වෙලාය. රටකන සිවුරන් , ලෝගුකාරයන්ට වදින කෝටි ගණන් යානවාහන පංසල් පල්ලි ඉඩම් පූජාකර ඇරගන්නා හා උන්ගේ කාමසුඛල්ලිකාණු ජීවිත සන්තර්පණය කරන සැදැහැත් ගොං ජනතාවට සේපාල් ගේ වචනය ඇලජික්වීම පුදුමයක් නොවේ. එහෙත් එවැනි අසරණ ගොං ජනතාවකට ධාතු පෙන්වා හා පංසලක නයි නටවා තීරණාත්මක ඡන්ද පවා දිනිය හැකි රටක සේපාල් බයිට්වීම සුළු දෙයකි. ඔහු ගොදුරුවී ඇත්තේ ඔවුන් විසින්ම නිර්මාණය කල අර්බුදයේය.

ජනතාවට කන්න නැතත් පාලකයන් අධිපෝෂණයෙන් පෙළෙන රටේ දෙවේල කන්න නැති පන්සල් තිබියදී දළදා මාළිගාවේ හා රටේ ඇතැම් වරප්‍රසාදලත් සර්ව ආගමික ස්ථාන වල දේපොළ වලට ගේම දී තම සුඛවිහරනයට ඒවා යොදා ගන්නා ආගම රැකියාව කරගත් අය එමට බව රට නොදන්නේද. කෝටි ගණන් ආදායම් ඇති ආගමික ස්ථාන දුගී දරුවන්ට කන්න වේලක් ඇඳුමක් පොතක් බෙදනවාද. බොහෝ අය වදින පුදන ආගමික එවුන්ට හොර පවුල් සිටින බවට වන චෝදනාව මඩක් පමණක්ද?

තවද දළදා මාළිගාව ට පහරදී ජවිපෙ මෙන්ම කරුණා පිල්ලෙයාන්ලා ඇතුළු කොටි එය වැනසූ බවත් රට නොදන්නේද. අරන්තලාවේදී භික්ෂූන් 32 ක් අමුවෙන් කපාකොටා මැරූ බව අමතක කර කරුණා හා පිල්ලෙයාන්ලා රාජපක්ෂ ඔඩොක්කුවේ වාඩිවූ විට ඔහුන්ට සර් කියා වැද වැටුන මේ රටේ හැත්ත අද දළදාව ගැන කී වචනයක් නිසා සේපාල් ජාති ද්‍රේාහියෙකු කර දඬුකඳේ ගසා තිබේ.

දළදාව වටේ කාර් රේස් පදිමින් රුසියන් වෙසගනන් ගෙන්නා පුසිද්ධියේ තුන්වෙනි සිල්පදය කඩනවිට අද බුදු දහම හා දළදාව වෙනුවෙන් සේපාල් ට එරෙහිව මොරදෙන එවුන් සිටියේ කොහේද. දන්ත ධාතුව ඌරු දතක් යයි උමංදා බඩ්ඩ කියනවිට හා බුදු දහම හම ගසා පටු දේශපාලන වේදිකාවේ තෙලේ ගිල්වා බඳිනවිට මේ සැදැහැවතුන් සිටියේ මර නින්දේද. බුදුන් ගේ යයි කියන දතකට ලබ්බ යයි සේපාල් කියන්නට පෙර බුදු හාමුදුරුවෝත් ගංජ ගැහුවායි ඩයනා බඩ්ඩ කීම සේපාල් ගේ ලබ්බේ කතාවට වඩා සුරතල් එකක් වූයේ කෙසේද. බුදුන් මෙන්ම මමත් ජොයින්ට් එකක් ගහලා ආතල් එකේ ඉන්නා බව දිලිත් කීවා මතකය. එම ප්‍රකාශය හරහා බුදුදහමට ලැබුණු ප්‍රගමනය කුමක්ද?

තවද සර්වඥ හා දන්ත ධාතු වෙනත් රටවල ද තිබේ. පකිස්ථාන දන්ත ධාතුව බෝතලයක දමා පුළුන් ගුලියක ඔබා තිබෙන බවත් තමාට එය අතට අරන් බලන්නට දුන් බවත් හිටපු විදේශ ඇමති බෝගොල්ලාගම මට කීවා මතකය. අනික ලබ්බ යන්නෙහි සැබෑ අර්ථ නිරූපනය කුමක්ද. ලබු වලට කියනුයේ ද ලබිබ කියාය. එහෙයින් රටේ කම්බ හොරු රැකෙන්නත් ඒ ගැන කතා කරන අය හිරේ වැටීමත් ඛේදවාචකයකි.

තවද මහබැංකුව කඩද්දී සුනාමියෙන් මිග් වලින් අධිවේග ක්‍රිකට් පිටි වලින් අරිද්දී අද මේ බංකොලොත් රටේත් සීනි පොල්තෙල් සුදුළුෑනු ඉන්දන ගල්අඟුරු බිත්තර පොහොර වලින් මහ දවල් ගසාකන නීලකාස හොරු තරු හෝටල් වල රු ලක්ෂයේ විස්කි බෝතලය කඩද්දී බෝනගේන් ලා බුදු දහම ගිලිද්දී සේපාල් බන්ධනාගාරගත කළේ ඌ මේ රටට ආර්ථිකයට හා බුදු දහමට කල මොන අපරාධය හා අලාභය නිසාදැයි මුළු සමාජයෙන්ම ප්‍රශ්න කරන්නට සිදුවේ.. එසේනම් සේපාල් ගේ අල්ලපු සිරමැදිරිවල බානුක රාජපක්ෂ ලා ජෙරොමි ලා හා සංගක්කාරගේ ඇඹිනියද සිටිය යුතුය.

එහෙත් ගතානුගතික පටු රාමුවේ හිරවුණු හා මුහුකුරා නොගිය හිස් ආකල්ප වලින් නොමිදුනු මිනිසුන් සිටින අපරිනත සමාජයක දළදාව ගැන සේපාල් එසේ නොකීවා නම් වඩා හොදය. ඔහු හා සියලු ටයර් ටියුබ්කාරයින් විනය හා ශික්ෂනය මෙන්ම රටේ සමාජ පදනම ගැන ද මීට වඩා හිතනවා නම් වටින්නේය. එවැනි පසුබිමක ජවිපෙ සේපාල් වෙනුවෙන් එළිපිට පෙනී නොසිටීම ද මට නම් අරුමයක් නොවේ. මන්ද හැම අවස්ථාවාදීන්ම දඟලන්නේ තිබෙන කැඳ හැළියෙන් තම කොටස බේරා ගන්නට පමණය.

උපුටා ගැනීම අශෝක ජයතුංග facebook පිටුව

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles