Thursday, April 18, 2024

රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ කාබනික පොහොර මධ්‍යස්ථාන 10ක් ඉදිකළා – වජිර අබේවර්ධන (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ පාලන කාලය තුළ කාබනික පොහොර මධ්‍යස්ථාන 10 ක් ලංකාවේ ඉදිකළ බව මේ රටේ ජනතාව දන්නේ නැති බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“අද ගොවිජනතාව ඉතාම අසීරු තත්ත්වක ඉන්නවා පොහොර ප්‍රශ්නය නිසා. කාබනික පොහොර පිළිබඳ දැන් කතා කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමාගේ පාලන කාලය තුළ කාබනික පොහොර මධ්‍යස්ථාන 10 ක් ඉදි කරලා තියෙනවා ලංකාවේ. එකක් මං පළාත් පාලන ඇමතිවරයා හැටියට ගාල්ලේ පටන් ගත්තා. හම්බන්තොට, කුරුණෑගල, ආඩලච්චනේ, කාත්තන්කුඩි, වඩමාරච්චි, දඹුල්ල, ලංකාපුර, කෑගල්ල, කුණ්ඩසාලෙ ඉතුරු මධ්‍යස්ථාන පිහිටවලා තිබෙනවා. එතනින් දඹුල්ලේ ආර්ථක වෙළෙඳ මධ්‍යස්ථානය රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා විසින්ම විවෘත කළා. සමහර ඒවා දැන් වැඩ අවසන් වෙමින් තිබෙනවා. මේ ආණ්ඩුවට දැන් විවෘත කරන්න පුලුවන්. එතකොට එහෙම කළේ දවසකට ඒ ඒ දිස්ත්‍රික්කවල එකතු වෙන අපද්‍රව්‍ය ජපන් තාක්ෂණය යටතේ පොහොර බවට පරිවර්තනය කරලා පළාත් පාලන ආයතනවලටත් ආදායමක් එන පරිදි පොහොර නිෂ්පාදනය සිදු කිරීමයි.

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා මේ කර්තව්‍ය සිදු කළේ ලෝකයෙන් ආධාර අරගෙන නෙමෙයි කළේ. මේක කළේ මහා භාණ්ඩාගාරයේ මුදල් වලින්. එතකොට රනිල් වික්‍රමසිංහ නායකතුමා මහා භාණ්ඩාගාරය නිසියාකාරව හසුරවපු නිසා එතුමට පුළුවන්කම තිබුණා මේ එක තාක්ෂණික පොහොර මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා රුපියල් ලක්ෂ 3000 ට වැඩි මුදලක් මහා භාණ්ඩාගාරයෙන් යෙදවීමට. ජපානය සමග සාකච්ඡා කරමින් අදාල යන්ත්‍ර සූත්‍ර ජපානයෙන් ගෙනැවිත් පොහොර ව්‍යාපෘති පටන් ගත්තා.

අන්න එහෙමයි අපි කාබනික පොහොර නිෂ්පාදනය කළේ. මේ ආණ්ඩුව එක කාබනික පොහොර මධ්‍යස්ථානයක් පටන් ගත්තා නම් මම කැමතියි ඒකෙ නම දැනගන්න. ඒ විතරක් නොවේ අපි යුරෝපයේ රටවල් වල ආධාරයෙන් ග්‍රාමීය පාලම් 1800 ක වැඩ අවසන් කළා. තව පාලම් 1000 ක් නෙදර්ලන්තය සහ තවත් රටවල් කිහිපයක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අනුමත කරලා මහා භාණ්ඩාගාරයේ ගිවිසුම් අත්සන් කළා.  ඒ ඇරෙන්න එක පාලමක් ලෝකයෙන් ලැබිලා තියෙනම් ඒකත් කැමතියි දැනගන්න. එහෙමයි නිහඬව රනිල් වික්‍රමසිංහ නැමැති කෘතහස්ත දේශපාලකයා නිහඬව මේ රටට වැඩ කරලා තිබෙන්නේ. තව දේවල් තිබෙනවා. අපි අනාගතයේදී එළි කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා මහජනතාව දැනගතයුතුයි.

එතකොට බලන්න මේ රටේ ජනතාව මං හිතන්නේ දන්නෙ නැහැ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාබනික පොහොර මධ්‍යස්ථාන 10 ක් ලංකාවේ ඉදි කරලා තිබෙන බව දන්නවා ඇති කියලා. මේ කාබනික පොහොර මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා ලෝකයේ කිසිම රටකින් ආධාර ලබා ගන්නේ නැතිව ලෝකයේ තාක්ෂණය පමණක් ලබා ගෙන මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවලා පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා කියලා පොහොර ව්‍යාපාරයට බලපෑම් කළේ නැහැ. දැන් ආණ්ඩුව දුර දිග නොසිතා සිදු කරන ක්‍රියාදාමයන් නිසා මේ රට ඉතාම නරක තැනකට තල්ලු කරමින් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජුනි 23 උදේ 10 : 00 ට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා

ඒ නිසා මෙවන් අවස්ථාවක ජාත්‍යන්තර වශයෙන් රට ඉතාම අපකීර්තියට පත්වෙමින් තිබෙනවා. GSP+ අහිමි වෙමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා එය නැතිවී තිබියදී ආපසු ලබා ගත්තා. ඒ ලබා ගත් සෑම සහනයක්ම දැන් අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය හැටියට අප තීරණය කළේ ජාත්‍යන්තර වශයෙනුත් පිළිගැනීමක් ඇති, දේශීය විශ්ව විද්‍යාලයකින් උගෙන ගෙන, පස් වතාවක් මෙරට අග මැති වුණ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒ යෝජනාව මේ මොහොතේදී අපි මැතිවරණ කොමසාරිවරයා වෙත දැනුම් දීලා තිබෙනවා. ඒ සඳහා අදාල ලිපි ලේඛන බාර දීම සිදු කළා. ඒ පිළිබඳව අදාල ගැසට් පත්‍රයේ පලවෙයි. ඒ අනුව ජුනි 23 වෙනිදා එතුමා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම උදේ 10 : 00 ට සිදු වීමට නියමිතයි කියලා මතක් කරන්න කැමතියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles