Friday, March 29, 2024

රවී ගෙන් පෙත්සමක්

බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500 ක් පාඩු කළ යැයි චෝදනා කරමින් මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට නොතීසි දන්වා යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියම කර ඇත.

එසේම එදිනට පෙත්සම සලකා බැලීමට ද අභියාචනාධිකරණය දින නියම කර ඇත.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට මෙම නියෝගය කර ඇත.

2016 වසරේ මාර්තු 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500ක පාඩු සිදු කළ බවට චෝදනා කරමින් නීතිපති ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා රවි කරුණානායක මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , බැදුම්කර වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හා එහි සභාපතිවරයා නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කාර රවී කරුණානායක මහතා සිය පෙත්සමින් පෙන්වා දී ඇත්තේ බැදුම්කර ජනාධිපති කොමිසම මගින් දුන් නිර්දේශ මත තමාට එරෙහිව මෙම අධි චෝදනා පත්‍රය ගොනු කළ බවට නීතිපති පැවසුවද, එවැනි නිර්දේශයක් එම කොමිසම විසින් සිදු කර නොමැති බවය.

එබැවින් එලෙස අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නීතිපතිට බලයක් නොමැති බවත්, මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ඇති එම අධි චෝදනා පත්‍රය බල ශූණ්නය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles