Friday, April 19, 2024

ලංකාවෙත් Facebook තහනමකට යාවිද?

මේ දිනවල සමාජ ජාල නියාමනය, සමාජ ජාල ක්‍රියාකාරකම් පාලනය, සමාජ ජාල තුල යහපැවැත්ම යන කාරණා හොඳින් ඉස්මතු වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. එක පැත්තකින් එය හොඳ මෙන්ම යම්තාක් දුරට අඳුරු සෙවණැළිද පෙනෙන කාරණයක් ලෙස අවබෝධ කරගන්නට පුළුවන්. ඇයි මේ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙන මේ සමාජ ජාල වලට මෙච්චරම බලපෑම් කරන්න ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක බල අධිකාරිය දැනටම පිඹුරුපත් සකස් කරන්නේ කියලා සොයා බැලිය යුතු කාරණයක්.

පැවති රාජපක්ෂ රෙජීමය බිඳ වට්ටන්න ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා හොඳින් භාවිතා වුණ බව අපි දන්නා කාරණයක්. “ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න“ කියලා මේ සමාජ ජාල වල පරිශීලකයන්ගේ ජන මතය බල්ලට දාලා මහින්ද කතා කරද්දි ෆන් ගන්න තිබුණ ෆේස්බුක් එකේ බලේ නිසා තමන්ට ගෙදර යන්න වුණා කියන කාරණේ මහින්ද ඇතුළු නඩය තේරුම් ගත්තේ බොහොම පහුවෙලා. හැබැයි 2015 මාර්තු මාසේ ඉඳන් ආයෙත් මහ මැතිවරණය ඉලක්ක කරගෙන මහින්ද උස්සලා තියද්දි ඒකට වැඩියෙන්ම යොදාගත්තෙත් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ම තමයි. මොකද තමන්ට ගුටි දීපු පොලු කෑල්ලේ පහර කෑමේ රඟ දන්නා පිරිස පෙරලා සටනට අතට මුලින්ම ගත්තේද ඒ පොලු කෑල්ලමය. ඒත් මහින්ද ඇතුළු නඩය ප්‍රමාාද වූවා වැඩිය. තමන් විසින් දෙකේ කොලේට පහත් කර දැමූ ෆේස්බුක් තමන්ගේ සරණට නොආවේය. මේ නිසාම වත්මන් පාලනය පවා දන්නා කරුණ වන්නේ එදා මහින්දට කැපූ වලේම තමන් වැටෙන්නටද බොහෝ ඉඩකඩ ඇති බවයි.

අධික බලයක් තබාගෙන සිටි මහින්දට යන්නට වුණානම් වත්මන් පාලනයට සමාජ ජාල කැරැල්ලකට මුහුණ දිය හැකි තත්වයක් නැති බව අවබෝධ කරගෙන සිටිනවා ඇත. ඒ නිසා දැන්ම නිසියාකාර නියාමනයක්, පාලනයක් දියත් කලහොත් මිසක නැවත ජන නැගිටීමක් පාලනය කිරීමට අසීරු විය හැක. අන්න ඒක නිසා දැන් සිටම එක්කෝ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පාලනය කිරීම හෝ තහනම් කරදැමීමට මේ ආණ්ඩුවද ගමන් කරනවා යයි සිතිය හැක.

ලෝකය දිහා බලන විට චීනය, උතුරු කොරියාව වැනි රටවල් සම්පූර්ණයෙන්ම ෆේස්බුක් තහනම් කර ඇත. චීනය ෆේස්බුක් තහනම් කර ඒ වෙනුවට තම රටේ නිෂ්පාදිත QQ නම් සමාජ ජාල ක්‍රියාත්මක වෙන මෘදුකාංගය පාවිච්චි කරයි. අදාල මෘදුකාංගය පවතින්නේද සම්පූර්ණයෙන්ම වාගේ රජයේ පරිපාලනයේය. උතුරු කොරියාව බටහිර රටවල වෙබ් අඩවි වලට බඳින වැටම ෆේස්බුක් ජාලයට ද සිය රටතුල වැට බැඳ තහනම් කර ඇත. මුරුසි දිවයින, සිරියාව, දකුණු අප්‍රිකාව වැනි රටවල් එරට රාජ්‍ය නායකයන්ට අපහාස කිරීම පදනම් කරගෙන තාවකාලිකව ෆේස්බුක් අත්හිටවා තිබිනි. එසේම එංගලන්තය, ටජ්කිස්තානය වැනි රටවල් අහිතකර ඉසව් සංවිධානය කිරීම නිසා රටතුල ෆේස්බුක් කෙටි කලකට තහනම් කර තිබුණි. ඒ නිසා ලංකාවේද නියර බඳින්නේ කුඹුර කොටන්නට බව අප සිතාගත යුතුය.

ෆේස්බුක් නියාමනයක් තිබිය යුතුය. නැතිනම් මේ තත්ත්‍ය සමාන (Virtual) මිතුරු හවුල තුල තව තව අපරාධ සිදුවන්නට ඉඩ තිබේ. එහෙත් මේ මුවාවෙන් පාලකයන් දත කන්නේ ෆේස්බුක් රටතුල තහනම් කර ජන මතයට වැට බැඳීමටනම් ඊජිප්තුවට වඩා අන්ත තැනකට ලංකාව පත්වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles