Saturday, April 20, 2024

ලංකාව බංකොලොත් මට්ටමට ලඟා වෙද්දී මහ බැංකු අධිපති කියන කතාව…

විදේශ රටවල සිට මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙසට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ කළු කඩ වෙළඳාම හරහා අක්‍රමවත් ක්‍රමවේදයන් ඔස්සේ විදේශ මුදල් මෙරටට එවීමට කටයුතු නොකරන ලෙසයි.

මෙවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සඳහා බෙහෙවින් අවශ්‍ය වී පවතින විදේශ විනිමය පරිත්‍යාග කිරීම මගින් මෙම තීරණාත්මක අවධියේ දී රටට සහාය ලබා දීම සඳහා තම කැමැත්ත පළ කරමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කළ ප්‍රකාශයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාදරයෙන් පිළිගනු ලබන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ.

ඒ අතරම ශ්‍රී ලංකාව ගෙවීමට ඇති  ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත් හිට වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබෙන තෙක්  ශ්‍රී ලංකාව  ණය පියවීම තාවකාලිකව අත් හිටුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට ණය ලබා දුන්  සියලුම රටවල් සහ සමාගම්  සමග එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාව  ලබා ගෙන  ඇති ණය මුදල් සම්බන්ධයෙන් මෙය බලාත්මක වන අතර අලුත් ණය ලබා ගැනීම් සඳහා මෙය බලාත්මක නොවන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය. ණය මුදල් ගෙවන ආකාරය නැවත ප්‍රතිව්‍යුහගත කරන තෙක් ණය ලබාදුන් සියලුම රටවල්  සහ සමාගම් වලට  ණය පියවීම අත් හිටුවා ඇති කාල සීමාව සඳහා එම රටවල් සහ සමාගම් ශ්‍රී ලංකාව සමග  එළඹි ගිවිසුම් ප්‍රකාරව පොලිය අය කර ගැනීමට හැකියාව තිබෙන බව එම නිවේදනයේ සටහන් වේ.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සමාගමක් හෝ රාජ්‍යයක් ණය අත් හිටවූ කාල සීමාව තුළ ගෙවීමට ඇති හිග මුදල් ශ්‍රී ලංකා රුපියල් වලින් ලබා ගැනීමට කැමැත්ත තිබේ නම් ඒ සඳහා අවකාශ තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

විදෙස් මාධ්‍ය මෙම නිවේදනයට පුළුල් ආවරණයක් ලබා දී තිබූ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත් හිටවා ඇති බවත් මෙය ශ්‍රී ලංකාව සතු අවසන් විසඳුම බවත් වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles