Friday, April 19, 2024

ලෝකයේ ලොකුම වැක්සින් නිෂ්පාදකයා නොහොත් ඉන්දියාව නැවත වැඩ අරඹයි!

ලෝකයේ ලොකුම වැක්සින් නිෂ්පාදකයා වන ඉන්දියාව කෙරෙහි, කෝවිඩ් වසංගතය සමයේදී ලෝකයම බලාපාරොත්තු තැබීම පුදුමයට කාරණයක් නොවේ.නමුත් ඒ බලාපොරොත්තුවලට තිත තැබුණේ ඉන්දියාව, මාර්තු මාසයේ දී පැමිණි දෙවැනි රැල්ලත් සමග දේශීය අවශ්‍යතාවය සඳහා වැක්සින් තබාගැනීමට තීරණය කිරීමත් සමග ය.

ඒ සමග වැක්සින් අපනයනය ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම නතර කළේ, ලංකාව ද ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් අපහසුතාවයට පත් කරමිනි.

නමුත් මේ වන විට ඔවුන් සිය දේශීය අවශ්‍යතාවයට උවමනා වැක්සින් ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයක් නිපදවා ඇති අතර, එන්නත් තොග රට තුළ ගොඩ ගැසී ඇති තත්වයක් උදා වී තිබේ.

ඒ අනුව පසුගිය සතියේදී ඉන්දියාව නැවතත් වැඩ ඇරඹුවේය.

ඒ, ‘භාරත් බයෝටෙක්‘ සමාගම විසින් නිපදවූ කොවැක්සින් මාත්‍රා මිලියනයක් ඉරානය වෙත යවමිනි.

නේපාලය වෙත ද ඉන්දියාව මේ වන විට වැක්සින් තොගයක් යවා තිබෙන්නේ මිලියන 4 දක්වා ඉන්දියාවේ එන්නත් අපනයනය ඉහළ දමමිනි.

මේ වන විට ඉන්දියාවේ ජනගහනයෙන් 3/4 ක් පමණ පළමු වැක්සින් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 1/3 ක් දෙවැනි වැක්සින් මාත්‍රාව ද සම්පූර්ණ කර තිබේ. ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.3කට අධික නිසා එය ඔවුන් විසින් ලබාගෙන ඇති සුවිශේෂී ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉදිරි දින 2-3 ක කාලය තුළ ඉන්දියාවේ බිලියනයක් දෙනා වැක්සින්කරණයට ලක් කිරීමේ සන්ධිස්ථානය පසු කරනු ඇත.

මේ වන විට ඉන්දියාවේ වැක්සින් බලාගාර, මසකට නිෂ්පාදනය කරමින් සිටින කෝවිඩ් වැක්සින් ප්‍රමාණය පහත දැක්වේ.

  • සීරම් ඉන්ස්ටිටියුට් – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා වැක්සිනය – මසකට මාත්‍රා මිලියන 220 බැගින්
  • භාරත් බයෝටෙක් – ඉන්දියානු කොවැක්ස් එන්නත – මසකට මාත්‍රා මිලියන 30 බැගින්.

ඉන්දියාවෙන් තවත් දේශීය වැක්සින් කිහිපයක්

මේ අතර ඉන්දියාව සිය රට තුළ දේශීය වශයෙන් වැඩි දියුණු කළ තවත් එන්නත් කිහිපයක් ද වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කරමින් සිටියි. ඒවා ද ලබන වසර වන විට මසකට මාත්‍රා මිලියන 300-320 අතර ප්‍රමාණයකින් නිෂ්පාදනය කිරීමට නියමිත ය. මසකට ඉන්දියාව උපරිම වශයෙන් එන්නත්කරණයට ලක් කිරීමට සමත් වනු ඇත්තේ මාත්‍රා මිලියන 210 කි. ඒ අනුව ඔවුන්ට අනාගතයේදී කිසිදු වැක්සින් හිඟයකට මුහුණ පෑමට සිදුනොවනු ඇත.

අවුරුදු දෙකේ දරුවන්ටත් වැක්සින් !

ඉන්දියාවේ දේශීය වශයෙන් නිපදවන භාරත් බයෝටෙක් කොවැක්ස්, ලබන මස අග වන විට මසකට මාත්‍රා මිලියන 50 බැගින් නිකුත් කළ හැකි වන සේ එහි නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ දමා තිබේ. ඉදිරි සතිවලදී වයස අවුරුදු 2-18 වැඩි ඉන්දියානු දරුවන්ට ලබාදීමට නියමිත ව තිබෙන්නේ ද මෙම කොවැක්සිනයයි. එය මෙයට දින 2 කට පෙර හදිසි භාවිතය සඳහා අවශ්‍ය කරන අනුමැතිය ද දිනාගත්තේය.

ඉන්දියාව ලෝකයේ ලොකුම වැක්සින් නිෂ්පාදකයා බවට පත් ව සිටින්නේ ප්‍රධාන වශයෙන්ම සීරම් ඉන්ස්ටිටියුට් (the Serum Institute of India) නිසා ය. කෝවිඩ් වසංගතයට පෙර සිටම එය ලෝකයේ සියලු වැක්සින් නිෂ්පාදනාගාර අබිබවමින් වැඩිම පරිමාවකින් වැක්සින් නිපදවමින් සිටියේය. මසකට වැක්සින් මාත්‍රා මිලියන 100 ක් පමණ නිපදවීමට එයට පහසුකම් තිබේ.

Outbound Today

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles