Friday, March 29, 2024

විභාග නැති අධ්‍යාපනයක්!

වසර ගණනක් එකදිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණදීමේ පීඩාකාරී මානසික වදයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි උත්සාහයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයන් ඔස්සේ පවත්වාගෙන යනු ලබන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

වාර්ෂික, ජාතික, ගණිත සරසනිය තරගයෙන් ජයගත් සිසුසිසුවියන් සදහා ත්‍යාග සහ සම්මාන ලබාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේදී පවත්වා ඇති අතර එය ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත සම්මේලනය විසින් සංවිධානය කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ විශ්වවිද්‍යාල විශ්ව දැනුම  ලැබිය හැකි ස්ථානයක් ලෙස එහි පාඨමාලාවන් තාක්ෂණිකව පූර්ණ නව්‍යකරණයට හා යාවත්කාලීන කිරීමකට ලක් කළ යුතු බවයි.

පෙර පාසලේ සිට පාසල් පන්ති කාමරය හරහා මෙම පරිවර්තනීය වෙනස සිදුවිය යුතු බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ. එසේම පෙර පාසලේදීත් කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණයට ලැබෙන අවකාශය පුළුල් වන තරමට, පන්ති කාමරයේදී ප්‍රශ්න විමසමින් දැනුම් මූලාශ්‍ර හඹා යමින් ගවේෂණාත්මක නිදහස් අධ්‍යාපනයක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමිවිය යුතු බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 

විශ්වවිද්‍යාලයේදී විශ්වදැනුම හා මුසුවී සමාජයට ප්‍රතිඵලදායක නිර්මාණ බිහිකිරීමට හැකිවන්නේ එවන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයක නියැලීම මත බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. මෙරට අතීත දැනුම තුළද මෙම නිර්මාණශීලී තාක්ෂණික දැනුම භාවිතයට ගනිමින් රුවන්වැලි සෑය වැනි නිර්මාණ බිහිකර ඇති බවත් මේ සියල්ල නිරීක්ෂණ, ගවේෂණ හරහා මෙරට අධ්‍යාපන ක්‍රමයට අන්තර්ගත කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles