Saturday, April 20, 2024

ශ්‍රී ලංකාවට හදිසි ආධාර අවශ්‍යයි!

ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් එම ජනතාවට හදිසි මානුෂීය සහායක් සහ මැදිහත් වීමක් නොලැබුණහොත් මිලියන 5.7 ක සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි. එය ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 26 බවත්  මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.

රතු කුරුස සංවිධානය සිදුකළ සමීක්ෂණයක වාර්තාව ඇසුරෙන් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ බව ප්‍රකාශ කර ඇත .

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට, ජීවනෝපායන්ට සහ ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එම වාර්තාව දැක්වේ.

ආර්ථික අර්බුදයෙන් ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් පවුල් වල අවශ්‍යතා ඉටු කරගැනීමට නොහැකි වන විට එම පවුල් වල කාන්තාවන් සහ ළමුන් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් නිර්මාණය විය හැකි බව එම සමීක්ෂණයට සහභාගී වූ පවුල් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්වාස කළ බව එම වාර්තාවේ සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 85 ක ප්‍රමාණක් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ලබා ගන්නා ආහාර වේල් මග හැරීමට, ගන්නා අහාර ප්‍රමාණය අඩු කිරීමට සහ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් වැළකී සිටීමට පුරුදු වී ඇති බවත් දිළිඳුකම වැඩිවෙත්ම මන්දපෝෂණයද  ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම වාර්තාව උපුටා දක්වමින් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.

එපමණක් නොව ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනයටද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් තම දෙමාපියන්ට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් පාසැල් හැර යන ළමුන් ප්‍රමාණය ඉදිරියේදී ඉහළ යා හැකි බවත් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටළු මතු විය හැකි බවත් එම වාර්තාව උපුටා දක්වමින් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ එල්ල වී ඇති බලපෑම අනෙක් පවුල් වලට සාපේක්ෂව කාන්තා මූලික පවුල් සහ වතුකරයේ පවුල් වලට දැඩිව බලපා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles