Saturday, April 20, 2024

ශ්‍රී ලංකා යෞවනයන්ට ඓතිහාසික තරගාවලි ජයක්

බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවති 05 වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 04ක ජයක් තියුණු ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25දා) සමත් විය. ඒ අනුව වත්මන් යොවුන් ලෝක ශූරයන් (2019) වන බංග්ලාදේශයට, ශ්‍රී ලංකාව හමුවේ තරග 5-0ක පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට සිදුවිය.

මෙම තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහි අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ආරම්භක පිතිකරු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ චමිඳු වික්‍රමසිංහ ලකුණු 102ක් රැස්කිරීමට සමත් වූ අතර, එය මෙම තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයද විය. පන්දු 123කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් හා හයේ පහර 03ක් අන්තර්ගත විය. ඔහුට අමතරව තරගාවලියේ දෙවැනි අර්ධ ශතකයත් වාර්තා කළ ශෙවෝන් ඩැනියල් ලකුණු 59ක් රැස්කළේය. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 160ක සබඳතාවක්ද පැවැත් වූහ.

කෙසේ නමුත් ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 236ක් පමණි. මෙහිදී බංග්ලාදේශ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, එහිදී මෆිජුල් ඉස්ලාම් (62) හා අයිච් මොල්ලා (55) ඉනිම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආවේය.

ඒ අනුව බංග්ලාදේශයට අවසන් පන්දුවාර 03 තුළදී කඩුලු 05ක් අතැතිව ලකුණු 18ක් රැස්කළ යුතු වුවත්, ශ්‍රී ලංකා යෞවනයෝ පෙරළිකාර ක්‍රීඩා විලාශයක් විඳහා දක්වමින් නොතිබූ ජයක් රැගෙන ආවේය. බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු 05ම ලකුණු 14ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ වසය 19න් පහළ කණ්ඩායමක් තරග 5-0ක් පූර්ණ තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාවද ලැබූ පළමු තරග 5-0ක පූර්ණ තරගාවලි ජය මෙය වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles