Thursday, April 25, 2024

සංවර්ධනය නතර කර ජිවිත රකින්න – එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන (වීඩියෝ)

කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වෙමින් පවතින මේ මොහොතේ රටේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් අත්හිටුවා, සියලු සම්පත් මහජන ජීවිත ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් යොදවන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊ‍යේ (03) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා රජය නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා මේ වනවිට රටේ සමස්ත ජනතාව දැඩි අවධානමකට මුහුණ පා සිටින බවත් මෙම තත්ත්වය හමුවේ තවදුරටත් බලා නොසිට වැඩි මිලට හෝ එන්නත් මෙරටට ගෙන්වා ජන ජීවිත ආරක්ෂාකර ගැනීමට රජය පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

රට මුහුණ පා ඇති කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව අද කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා රට සතියකට හෝ දෙකකට ලොක්ඩවුන් කර ජන ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් විශේෂඥයින් දිගින් දිගටම ඉල්ලීම් කළත් රජය ඒ පිළිබඳව අවධාණය යොමු නොකිරීම නිසා දිනෙන් දින රට අවාසනාවන්ත තත්ත්වයකට තල්ලු වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.

කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වූ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා PCR පරීක්ෂණ වැඩිකරන ලෙසත්, දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩිකරන ලෙසත්, ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය මෙවලම් සපයා ගැනීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටි බව සිහිපත් කළ ඒ මහතා එදා එම ඉල්ලීම කෙරෙහි අවධාණය යොමු කළේ නම් අද වනවිට තත්ත්වය මෙතරම් බරපතල නොවීමට ඉඩ තිබූ බවත් පැවසීය.

වජිර අබේවර්ධන මහතා විසින් සිදුකරන ලද සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

මෙම ව්‍යසනය ආරම්භ වූ මොහොතේ සිට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුලදීම සඳහන් කළේ පී.සී.ආර්. පරික්ෂණ සංඛ්‍යාව වැඩි කරන ලෙසත්, අයි.සී.යූ. ඇඳන් වැඩි කරන ලෙසත්, ඔක්සිජන් සහ අනිත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය මෙවලම් සපයා ගැනීම සඳහා පියවර තබන ලෙසත්ය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ සඳහා පෞද්ගලික අංශයට සම්පූර්ණ දායකත්වයකදී ඒ අය හරහා ලබා ගන්නා බදු මුදල් වලින් සාමාන්‍ය ජනයාටද මේ සේවා වැඩිපුර ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසය. රට පාලනය කරන රජය තම තීරණ නියමිත වේලාවට නොගැනීමෙන් සිදුවන්නේ බරපතල ඛේදවාදයකි. මෙවන් අවස්ථාවක වැදගත්ම කාරණය වන්නේ නිවැරදි තීරණ ගැනීමයි. නිවැරදි තීරණ ගැනීම සිදුනොවූ වකවානුව තුළ කෝවිඩ් 19 තුන්වන රැල්ලක්ද රට පුරා ව්‍යාප්ත වී ඇත. මේ තත්ත්වය ගැන රජය වග කිව යුතු වේ. කෙසේ වෙතත් මහජනතාව බරපතල ප්‍රශ්නයකට මුහුණ දී ඇති අවස්ථාවක් නිසා පහත සඳහන් කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.

  1. සිංහල හින්දු අලුත් අවුරුද්දට සීමා සහිත අවුරුදු උත්සව වලට අවසර දී ජනතාව තුළ තිබිය යුතු වගකීම් සහිත තත්ත්වයන් ගිලිහී යන පරිදි අතිශෝක්තියකින් කොරෝනා දෙවන රැල්ල මැඩ පැවැත්විම සම්බන්ධයෙන් රජය උද්දාමයට පත් වී ප්‍රකාශ නිකුත් කිරීම සහ වගකිව යුතු අංශ සමාජ සංවේදීභාවය ගිලිහී යන පරිදි ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කිරීම.
  2. තෙවන රැල්ල ආරම්භයට තුඩු දෙන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම දෙවන රැල්ල මැඩ පැවැත්වීමට දී තිබූ උපායශීලි නිර්නායක අධිතක්සේරුවකින් අවුරුදු උත්සවය සැමරීම සඳහා ලිහිල් කිරීම හා අවුරුදු උත්සවය සැමරීමට නිරෝධායන නීති අභිබවා සෞඛ්‍ය අමාතංශ්‍යය විසින්ම නව නීති සැකසීම.
  3. නිදහස් සංචරණයට පිළිගත් ක්‍රමවේදයක් අනුව අවශ්‍ය අවස්ථාව ලබා නොදී වගකීම් විරහිත වන අකාරයට ඒ සඳහා ජනතාව පෙළඹවෙන පරිදි කිසිදු ආකාරයක වගකිව යුතු ආයතන ප්‍රායෝගික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක නොකොට වසංගත තත්ත්වය ඉතා විශාල ලෙස මැඩ පවත්වා ඇති බව අතිශෝක්තියෙන් හුවා දක්වමින් ජනතාවට නිදහස් සංචරණයෙන් බලගැන්වීම හා වගකීම් විරහිතව කටයුතු කරන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම.
  • කාලානුරූපීව ජාත්‍යන්තරව විශාල වශයෙන් කෝවිඩ් වෛරසය ආසාදන තත්ත්වයන් හමුවේ ආර්ථිකය දියුණු රටවල පවා පවතින විවිධ වෛරස ප්‍රභේදයන් සම්බන්ධයෙන් හා එම වෛරස ප්‍රභේදයන් ලංකාවට පැමිණෙන ආසාධිත සංචාරකයන්ගෙන් ලාංකීය ජනතාව තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සොයා බැලීමක් නොමැති වීම හා ඒ සම්බන්ධයෙන් තත් කාලීනව ප්‍රාදේශීය මට්ටමින් ඇති තත්ත්වයන් අධීක්ෂණය නොකිරීම හා ජනතාව දැනුවත් නොකිරීම.
  • පටු ආර්ථික ලාබ අපේක්ෂාවෙන් ඉතා භයානක වෛරස ප්‍රභේද ඇති එංගලන්තය, ඉන්දියාව, යුක්රේනය වැනි රටවලින්  සංචාරකයන් හට නිදහස් සංක්‍රමණයට ඉඩ දීම හා මෙම සංචාරකයන්ගෙන් රට තුළට පැමිණ සිටි ජාතිකයන් රටේ ජාතික ධනය භාවිතාකොට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ සේවා සපයමින් ප්‍රතිකාර කොට විශාල වශයෙන් රාජ්‍ය ධනය මෙම සංචාරයකයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පිරිවැය දැරීම දරාගත නොහැකි තරම් ආර්ථික හානියක් සිදු කිරීම.
  • අවස්ථානෝචිතව රජය විසින් ගත යුතු ඉතා සංවේදීය හා ආර්ථිකමය වැදගත් තීරණ වන්නේ උදාහරණ : වසංගත තත්ත්වයේ ආරම්භයේ සිට තිබෙන භයානක තත්ත්වය හා වෛරස ප්‍රභේද වල ඇති ව්‍යාදීජනක තත්ත්වයන් විශේෂඥ මතයට අනුව ඉතා දැඩි බව අනතුරු අඟවා ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් තත්කාලීනව විධිමත් විශ්ලේෂණයකින් තොරව විශේෂඥ උපදෙස් සිතා මතාම නොසළකා හරිමින් තම අභිමතය පරිදි අවශ්‍ය අවස්ථාවන්හිදී දින 14 සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීම සහ ඉතා කෙටි කාලයක් තුළ රෝගීන් අති විශාල සංඛ්‍යාවක් රටේ විවිධ දිස්ත්‍රික්කවල ආසාධනයට ලක්වීමට ඉඩ හැරීමෙන් හා එම රෝගීන්ගේ රෝගී සත්කාරක සේවා සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැතිබවද රෝහල් වලට ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාවත් ඇතුලත් කර පාලනය කිරීමට හා දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා කිරීම.
  • දිගින් දිගටම වෛරසයේ ප්‍රභේදයේ විකාශනය සහ ව්‍යාධිජනක තත්ත්වයේ ඇති භයානකකම ජාත්‍යන්තර වශයෙන් හා ස්වදේශීය වශයෙන් විශේෂඥ මතය අනුව අති භයංකාර තත්ත්වයට පත් වන බව දන්වා තිබියදී සංකූලතාවයන්ට හා අතිශය අසාද්‍ය තත්ත්වයට පත් වන රෝගීන්ට පත්වන ප්‍රතිකාර ලබා දීම සඳහා දැඩි සත්කාර ඒකකවල ඇති අඩුපාඩු ඔක්සිජන් සහ වාතය සපයන උපකරණ ප්‍රමාණවත් පරිදි සැපයිමට අපොහොසත් වීම හා රටේ ආර්ථිකයට විශාල ඵලදායි සේවයක් ලබා දෙන තරුණ කොටස් සහ මැදිවියේ කොටස් ඉතාම දරුණු ආසාදන තත්ත්වයට හා සංකූල තත්ත්වයට පත්වීම විශේෂඥ මතය අනුව ඉදිරියේදී සිදු වන බව පෙන්වා දී තිබියදී ඒ සඳහා පෙර සූදානමකින් දැඩි සත්කාර ඒකක පිහිටුවා සේවා අවශ්‍යතාවය මත ප්‍රජාව සුරක්ෂිත කිරීමට ප්‍රමාණවත් පියවර නොගැනීම.

ලෝකයේ රටවල් අතරින් එකම කෝවිඩ් රෝගියෙකුවත් නොසිටින රටක් හැටියට නවසීලන්තය ගත හැක. ඊට අමතරව ලෝකයේ කෝවිඩ් අඩුම සංඛ්‍යාවක් සිටින ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලට සංචාරක පහසුකම් ලිහිල් කර ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා නව පියවර ගනිමින් සිටී.

අපේ රටේ ඇත්තේ එහි අනෙක් පැත්තය. ලෝකයේ කොරෝනා රෝගීන් සිටින රටවල සංචාරකයන්ට ගුවන්තොටුපොල විවෘත කිරීම තුළ ශ්‍රී ලාංකික මහජනතාව බරපතල අසීරුතාවයකට පත් වී ඇත. එමෙන්ම අසල්වැසි ඉන්දියානුවන්ද ශ්‍රී ලංකාව තුළට විශාල වශයෙන් ඇතුලත්වීම තුළ ශ්‍රී ලංකාවේ රෝහල්වල තිබෙන ඇඳන් සහ අනෙකුත් පහසුකම් ඔවුන් භුක්ති විඳීම නිසා මෙම වසංගතයට මුහුණ දෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමද සිදුවෙමින් පවතී. ක්‍රමවත් වැඩපිළිවෙලකට අවධානය යොමු නොකිරීම නිසා බරපතල ඛේදජනක තත්ත්වයක් උද්ගතවී ඇත. කෝවිඩ් එන්නත ලබා දීමේදීද ග්‍රාමීය මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරින්, ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්,  කෘෂි පර්යේෂණ නිලධාරින් හා සමෘද්ධි නිලධාරින් ප්‍රධාන කොට සිවිල් සමාජයේ වැඩිම ක්‍රියාකාරී පිරිස් හැටියට සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, හෙද හෙදියන් සහ ඒ හා සමාන මෙම සේවාවට අදාල අයට ප්‍රමඛත්වය ලබා නොදීම බරලතල ඛේදවාචකයකි. එම නිසා වහාම මෙම කරුණු රජය විසින් මෙම කරුණු නිවැරදි කරගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පැවසුවේ ලංකාවේ කෝවිඩ් ලෙඩ්ඩු දෙදෙනෙක් සිටින විට මුළු ලංකාවම ලොක් ඩවුන් කළා නම් පසුව කෝවිඩ් රෝගීන් වැඩි වෙන විට ලොක් ඩවුන් කිරීම නිසියාකාරව සිදු කළේ නැත්තේ ඇයි?. ලෝකයේ අදටත් සෑම රටකම කෝවිඩ් පාලනය කරලා තිබෙන රටවලත් කිසිදු නීති රීති වල වෙනසක් කළේ නැත. කිසිම ලිහිලක් ලබා දීලා නැහැ. නමුත් ලිහිල් ප්‍රතිකාර ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. එකක් කෝවිඩ් වර්ධනයට ඉතා වැදගත් ශාරීරික අභ්‍යාස කටයුතු වලට නිදහස දීලා තිබෙනවා කෝවිඩ් නීති රීති ඇතුලේ. අපේ රටේ ඒකෙ අනිත් පැත්ත, ඒ එක්කම ලෝකෙ රටවල සංචාරක හෝටල් සියල්ල වහලා, පාසැල් දරුවන්ගේ අනාගතය හදන්න ඕන නිසා පාසල් වහන්නෙ නැහැ. පාසල් අධ්‍යාපනය දිගටම පවත්වාගෙන යනවා.

සමහර රටවල ඔන්ලයින් ක්‍රමයට පුරුදු වෙනවා. කෙසේ හෝ විශ්ව විද්‍යාල පද්ධතියත් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ඒකෙ අනිත් පැත්ත වෙනවා. ප්‍රධාන ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් නිසි පරිපාලන ව්‍යූහයේ දායකත්වය මග හැරිලා තිබෙනවා. ඔවුන්ගේ අදහස් ලබා ගැනීම ඈත්වෙලා තිබෙනවා. ඒ නිසා තමයි රට මේ තත්ත්වෙට පත් වෙලා තිබෙන්නේ. මේ වන විට සිදු වූ අඩුපාඩු සියල්ල සිදු වී හමාරයි. මුලදී සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කළත් එයිනුත් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැත. මේක තනියම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සියලු දෙනාගෙ අදහස් වලට ඇහුම්කන් දී ඒ පිළිබඳ විශේෂඥයන් කියන උපදෙස් වලට ගරු කරලා කටයුතු කළ යුතුව තිබෙනවා. ආණ්ඩුවට  ආර්ථික වශයෙන් බරපතල කඩා වැටීමක් තියෙනවා. ආණ්ඩුවට එන්නත ගෙන්වන්න අදාල අංශවලට නියමිත වෙලාවට මුදල් ගෙවාගන්න බැරි වුණා. එයින් දුක් විඳින්නේ ශ්‍රී ලාංකික මහජනතාව.

කෝවිඩ් හැදෙන රෝගීන්ටත් මර බිය ඇති කරන්න හොඳ නැහැ. ලෝකයේ අනිත් රටවල සියලු දෙනා ගෙනැවිත් රෝහල්වල දාගන්නෙ නැහැ. සමහර රෝගීන්ට ගෙවල් වලම ඉන්න කියලා තත්ත්වය හුඟක් අමාරු නම් දුරකථන අංකයක් දීලා තිබෙනවා නම් දැනුම් දුන් විට ඔවුන්ව අරන් යන්න පුළුවන්.  අපේ පාලන කාලයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමග සාකච්ඡා කරලා 1990 ගිලන් රථ සේවය අපේ රටේ ස්ථාපනය කළා. දැන් ඒ තුලින් ලක්ෂ 10ක් පමණ ජීවිත බේරගන්න ප්‍රවාහනයේ යෙදී තිබෙනවා. ඒ වෙලාවෙත් මේ රටේ වෘත්තිය සමිති හැසිරුණු විදිය ඉතාම කණගාටුදායකයි.

ගිලන් රථ සේවාව හරහා ඉන්දියන් රහස් ඔත්තු සේවා ලංකාවට එනවා, ඒ නිසා ගිලන් රථ ප්‍රයෝජනයට නොගන්නා ලෙස ප්‍රචාරය කළා. ලෙඩ්ඩු ගේන්න එපා අපි බාර ගන්නෙ නෑ කියලත් කිව්වා. එහෙම රටක තමයි අප ජීවත්වෙන්නේ. ඒ නිසා මේවා පුළුල්ව කල්පනා කරලා බලා මහජනතාව ආරක්ෂාවන පරිදි කටයුතු කරන්න ඕන කියලා අපි ප්‍රකාශ කරන්නෙ.  දැන් ගොඩක් පමා වී අවසානයි. තත්ත්වය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා.

රජයට අපි යෝජනා කරන්නේ සියලු සංවර්ධන කටයුතු අත්හිටුවලා ජනතාවගේ මූලික අවශ්‍යතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය එන්නත් වැඩි මිළට හෝ රටට ගෙන්වා ගැනීම සඳහා පෞද්ගලික අංශයටත් අවස්ථාව ලබා දී, එමගින් රජයට බද්දක් අයකොට අහිංසක ජනතාව නඩත්තු කිරීමට වහාම පියවර ගත යුතුයි කියලා.

මේ අවස්ථාව වන විට ලංකාවෙ රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්ථා වී තිබෙනවා. ඒ අනුව දළ වශයෙන් මේ වන විට එක්ලක්ෂ තිස් එක් දහස් හාරසියය (131,400) ඉක්මවා ලංකාව තුළ කෝවිඩ් ආසාදිතයන් සහ සැකසහිත පුද්ගලයන් රෝහල් ගත වී සිටිනවා. ඒ අතරින් විදේශිකයන් 190 ආසන්න ප්‍රමාණයකුත් සිටින බවට තොරතුරු ලැබෙනවා. විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේත් දැන් එන්න එන්නම රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා.

පසුගිය පාලන කාලය තුළ අපි වැඩ අවසන් කළ “හෙල්මුට් කෝල්“ පදනම මගින් ඉදිකරන ලද කරාපිටියේ තිබෙන රෝහලේ ඇඳන් 400 කට ආසන්නව පහසුකම් තිබෙනවා. නමුත් කෝවිඩ් රෝගීන් ඇතුලත් කිරීම සඳහා එහි ඇඳන් 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් සකසා ගැනීමට හැක. එම ස්ථානයේ දැනට තිබෙන අඩුපාඩු වනුයේ තෙකලා විදුලිය නොමැති කම සහ මලාපවහන පහසුකම් නොමැතිකමයි. එම පහසුකම් ලබා දුන් වහාම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මේ රෝහලෙන් සේවා සපයන්න හැකියාව තිබෙනවා. ඊට අමතරව ඔක්සිජන් ලබා දීමේ පහසුකම්ද මේ රෝහළ තුළ පවතිනවා. නමුත් ඔක්සිජන් ටැංකි තවත් අවශ්‍යව පවතිනවා. එම නිසා රජයේ විශේෂ අවධානය යොමුකර වහාම මෙම අවශ්‍ය පහසුකම් සපයා දී එම ගොඩනැගිල්ල කෝවිඩ් මධ්‍යස්ථානයක් බවට පත් කර ගාල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. 

ඒ වගේම එක් රෝගියෙක් ඉන්නා විට ලොක් ඩවුන් කරපු රට දැන් තාවකාලික පියවරවල් ගනිමින් මුළු රටම විනාශය කරා ගෙනයමින් පවතිනවා. දැනට තිබෙන තත්ත්වය හමුවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බෝවෙන රෝග වෛද්‍යවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ, පී.එච්.අයි. මහත්වරුන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මේ මොහොතේ රට තාවකාලිකව ලොක්ඩවුන් කර ජන ජීවිතය ආරක්ෂා කිරීම රජයේ වගකීම බව අප අවධාරණය කරනවා.

මහජන රජයක් හැටියට දැනුම තිබෙන විශේෂඥ පිරිස් වලට දැන් සිටම ඇහුම්කන් දී ක්‍රියාකළොත් ශ්‍රී ලාංකික ජනතාවට යහපතක් වේවි. නැතිනම් මේ සියවසේ විශාලතම ඛේදවාචකයකට අපට මුහුණ දීමට සිදු වේවි. හැඟීම් වලට ඉඩ නොදී බුද්ධියෙන් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුයි. නැතිනම් පළමුව මරණය දෙවනුව ජීවත්වීම බවට පත්වේවි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles