Thursday, April 18, 2024

සජිත්ගෙන් හොඳ පණිවුඩයක්…

ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ මර්දනය දිගු නොකරනු!

අපගේ මාතෘ භූමිය දරාගත නොහැකි ලෙස අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් යන අන්තනෝමතික, හිතුවක්කාරී පාලන තන්ත්‍රයට එරෙහිව දින ගණනාවක් මුළුල්ලේ පක්ෂ පාට බේද නොසලකා අරගල කරන තරුණ පරම්පරාවට එරෙහිව ආණ්ඩුව මර්දනයේත්,තර්ජනයේත් වියරු හස්තය දිගු කොට තිබේ.

පැන්සලක් හෝ පින්සලක් සමග විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව  අරගල කරන තරුණ පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණි.

⭕ ලාංකේය ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද නව පරිච්ඡේදයක් සටහන් කරමින් අතිශය විනයගරුක ලෙසත්,ස්වාර්ථය වෙනුවට පරාර්ථකාමීත්වයෙන් පිරුණු අපේක්ෂාවන්ගෙන් යුක්තවත් අපේ රටේ පුරවැසියන් අරගල කරමින් සිටී.විනයගරුකත්වයේ සහ ශිෂ්ට සම්පන්නබවේ ජීවමාන උදාහරණය ගෝල්ෆේස් පරිශ්‍රය තුළින් දැකිය හැකි අතර, ඔවුන්ගේ අරගලය,බලසම්පන්න  විධායක ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක් ඇති බවට වහසිබස් දෙඩූ ආණ්ඩුවත් බිත්ති හතරක් මැද කොටු කිරීමට සමත්ව තිබේ.

⭕මේ තත්ත්වයෙන් කුපිත වූ ආණ්ඩුව දැන් වෑයම් කරමින් සිටින්නේ ප්‍රාථමික සහ මිලේච්ඡ ප්‍රතික්‍රියා මගින්, මේ රටේ වීදිබට ජනයාගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදීමටය.

ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය,ආගම්වාදය, අන්තවාදය,නමැති හලාහල විෂ යොදා අරගලකරුවන් සහ අරගලබිම අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටී.
එය අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
⭕අපගේ ස්ථාවරය අරගලබිමේත් මහපාරේත් සිටින අරගල කරුවන්ට සමපාත ය.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු අතර ඔවුන්ට එරෙහිව විශ්වාසභංගයක් සේම දෝෂාභියෝගයක් ද ගෙන ඒමට අප කටයුතු කරමු.විසිවෙනි සංශෝධනය ආපසු හරවා දහනව වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීමටත් පාර්ලිමේන්තුව තුළ ලබාගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා අනවරථව අරගල කිරීමටත් අප තිරසාර ලෙස ඇප කැප වෙමු.

මේ තීරණාත්මක නිමේෂයේ ආණ්ඩුවට අවධාරණය කළ යුත්තක් තිබේ.

⭕මෙරට එදාමෙදා තුර ඉතිහාසයේ මිනිස්කමේ උදාර අනුරාගයෙන් යුක්තව අරගල කරන ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ හස්තය දිගු කළ හොත් එය ආණ්ඩුවට එරෙහි ඒකාන්තව පාරාවළල්ලක් වනවාට සැක නැත.

⭕පක්ෂ පාට ජාති ආගම් භේද නොසලකා දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ජනතාව  නැගී සිටින විට ආණ්ඩුව ඊට ප්‍රතිචාර ලෙස මර්ධනයේ හස්තය දිගු කරන ඕනෑම විටෙක , කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තෙන් පලිහක්ව සිට ගැනීමට පසුබට නොවන බව අවධාරණය කරමු. 

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles