Tuesday, April 16, 2024

සජිත්ට රංජන්ගේ අගය දැනෙයි

රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව කාගේත් ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඊයේ (26) අගුණකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට පැමිණි විපක්ෂ නායකතුමා ඉන් අනතුරුව මාධ්‍ය අමතා මේ බව පැවසීය.

රංජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්,අල්ලස් චෝදනාවක්, මහජන දේපල සොරකම් කළ චෝදනාවක් එල්ල වී නැති බවත්, තමන් ළඟ ඇති දේ පවා මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ මානවවාදියෙකු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින උවමනාවක් රංජන් රාමනායක මහතා තුළ පැවැති බවත්, බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී රංජන් රාමනායක මහතා දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආ බවත් විපක්ෂ නායක තුමා සිහිපත් කළේය.

රංජන් රාමනායක මහතා උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරන බවත්, එතුමාට ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම මානුෂිකත්වයේ නාමයෙන් කළයුතු දෙයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක මහතා වෙනුවෙන් මැදිහත් වනලෙස විපක්ෂ නායකතුමා අධිකරණ අමාත්‍යවරයාගෙන්ද ඉල්ලා සිටියේය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනම් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles