Thursday, April 25, 2024

සර්වලධාරී රුසියාව දණ ගැස්සූ විකටයාගේ බංකරය…

” මීට වසරකට පෙර උදෑසන ලැබුණු දුරකථන ඇමතුමත් සමග කියැවුණේ රුසියාව සිය ආක්‍රමණය ආරම්භ කළ බවකි. එදා දවස පටන් මම ජිවත් වෙන්නේ මෙම භූගත බංකරයේ.” ඒ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පළමු වරට රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු තමන් ජීවත් වන ස්ථානය පිළිබඳව මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්වයි.

2022 වර්ෂයේ පෙබරවාරි මස 24 වෙනිදා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දිනයේ සිට සිය නිවහන මෙන්ම යුද මෙහෙයුම් මධ්‍යස්ථානය වූ එම භූගත බංකරය පිලිබඳ ජනාධිපතිවරයා තොරතුරු ලබාදීම සිදුකර තිබුනේ එරට මාධ්‍යවේදියෙකු වන Dmytro Komarov සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවකදී.

කුඩා නිදන ඇදක්, ඇඳුම් අල්මාරියක්, කාර්යාල කාමරයක් සහිත එම භූගත බංකරය තුල යුක්රේන ජනාධිපතිවරයා දිවි ගෙවීම ආරම්භ කර දැනට වසරක කාලයක් සම්පුර්ණ වී අවසන්.

” පසුගිය වසරේ පෙබරවාරි 24 වෙනිදා මමත්, මගේ බිරිඳත් අලුයම නැගිට්ටේ ලැබුණු දුරකථන ඇමතුමත් සමග. එයින් කියැවුනේ ඔවුන් (රුසියාව) ආක්‍රමණය ආරම්භ කළ බවයි. මට අවශ්‍ය වුනා මගේ දරුවන් දෙදෙනාට ඇහැරවලා ඔවුන්ට සිදුවන දේ ගැන කියන්න. නුමුත් මට ප්‍රමාද වෙන්න තරම් කාලයක් තිබුනේ නැහැ. ජනාධිපතිවරයා ලෙස තම පවුලට පෙර රට කියන දේ මගේ හිතට ආවා. මම බිරිඳව සහ දරුවන් තනි කරලා මේ ස්ථානයට මම  පැමිණියා” යුක්රේන ජනාධිපතිවරයා පවසා සිටියා.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගේ කාර්යාලයේ ඇති මේසය මත ඔහුගේ බිරිඳගේ සහ දරුවන් දෙදෙනාගේ ජායාරූපයක්, දුරකථනයක්, එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය වින්සන්ට් චර්චිල් ගේ පිළිරුවක් මෙන්ම යුද නෞකා, ප්‍රහාරක ගුවන් යානා ඇතුළු කුඩා ස්මාරක කිහිපයක් ඇති බවයි මාධ්‍යවේදී Dmytro Komarov ප්‍රකාශ කර ඇත්තේ.

” රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පළමු දවසේ මම රාජ්‍ය නායකයින් 27 දෙනෙකු සමග දුරකතනයෙන් කතා කළා. එදා සිට මේ දක්වා යුද්ධයේ දී ගත් සියලු තීරණයන් මම ගත්තේ මෙතන සිටයි.” ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා ගේ ඇඳුම් පැළඳුම් අතර දක්නට ලැබුනේ කාකි සහ යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් පමණක් වන අතරම, පාවහන් අතර ඇත්තේ යුද හමුදා සාමාජිකයින් භාවිතා කරන බුට්ස් පමණක් බවයි මෙහිදී මාධ්‍යවේදි Dmytro Komarov සඳහන් කර සිටියේ.

” හැමදේම වෙනස් වුණා. ඒ හේතුවෙන් අපි හැමදෙනාටමත් වෙනස් වෙන්න සිදුවුණා. ආපහු පුරුදු ජීවන රටාවට එන්න කොපමණ කාලයක් ගතවෙයිද කියල කියන්න අමාරුයි. නමුත් ළඟදීම අපි ජය ගන්නවා. එදාට අපි පුරුදු ඇඳුමෙන් සැරසෙනවා” ජනාධිපතිවරයා කියා සිටියා.

” යුද්ධයත් සමග මගේ විවාහයට හෝ පවුල් ජිවිතයට ඇතිවන බලපෑම ගැන හිතන්න හෝ මගේ බිරිඳ සමග ගත කිරීමට කාලයක් වෙන්කර ගැනීමට මට හැකිවුයේ නැහැ. ඒ තරම් මම කාර්යබහුල වුනා. මගේ ඔලුවේ වැඩ කලේ මම මේ රාජකාරියේදී මගේ කාර්යාලයේ සිටිය යුතු පුද්ගලයින් කවුද ? සන්නිවේදන සම්බන්ධතා පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකයි.

 මට ආරක්ෂක භටයින් දැනුම් දුන්නා ඔවුන්ගේ ඉලක්කය මමයි කියා. ඒ නිසා රටින් පිටවෙන්න කියා දැනුම් දුන් වාර අනන්තයි. නුමුත් දැන් මම වසරක කාලයක් මෙහි ජිවත් වෙනවා. මේ මගේ නිවසයි. 

මම කල්පනා කළා මට රටින් පිටව ආරක්‍ෂිත ස්ථානයකට ගියොත් සිදුවන දේ ගැන. මට උපදෙස් දුන්න අය ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. නුමුත් හැමෝම මට ඇඟිල්ල දිගු කරනවා රට අත්හැර පැන ගියා කියලා. මම හිතන්නේ මගේ උපන් රටට කරන පාවාදීමක් ඒක. මගේ තීරණය නිර්භීත නොවෙන්න පුළුවන්. නුමුත් මම මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න හැකි සියලු දේ කරනවා.” යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට රුසියානු හමුදාවන් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කොට වසරක කාලයක් ගතවී තිබුනද, ආක්‍රමණිකයින්ට එරෙහිව යුක්රේන හමුදාවන් සහ ස්වේච්ජා භට පිරිස් බටහිර රටවලින් ලැබෙන සහය සමග අත්කර දී ඇති හානිය සුළුපටු නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මූලාශ්‍ර – https://www.dailymail.co.uk/news/article-11795009/Zelenskys-war-rooms-Ukrainian-president-reveals-bunker-wartime-wardrobe-bust-Churchill.html

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles