Wednesday, April 24, 2024

සාලාව පිපුරුම පසුගිය රජයේ දුර්වලකම් නිසා සිදුවූවක් – ඇමති අකිල විරාජ්


සාලාව යුද හමුදා කඳවුරේ පිපුරුම සම්බන්ධයෙන් වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විසින් බාරගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

යුද්ධය නිමාවූ පසු ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අත්දැකීම් අනුව එම අවි ඉවත් කළ යුතුව තිබුණු බව අමාත්‍යවරයා කියා සිටියේ අද(09)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

යුද්ධය නිමාවී වසර 6ක් ගතවූ පසුද ඒවා ඉවත් කිරීමට කටයුතු ‍කර නොමැති බවත්,ඒ අනුව එම වගකීම ඔවුන් විසින් පැහැරහැර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

කෙසේ නමුත් ඔවුන් විසින් මෙම අවි ඉවත්කරමින් තිබුණු බවට ඇතැම් ප්‍රකාශ සිදුකර ඇති නමුත් එවැන්නක් ආවාට ගියාට සිදුකළ නොහැකි බැවින් එසේ ඉවත්කිරීමට තීරණය කර තිබුණිනම් ඊට අදාළ නිල ලියවිලි ප්‍රකාශයට පත් කළ යුතු බවද කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මීට පෙරාතුව 2009 වසරේ වව්නියාවේ ආයුධ ගබඩාවක් පිපුරුණු බවත්,2014 දීද එවැන්නක් සිදුවූ බවත් කියා සිටි අමාත්‍යවරයා එම කාලයේ අදාළ සිදුවීම් මාධ්‍ය මගින් අනාවරණය නොවුණු බව සඳහන් කළේය.

එදා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගත් උදවිය මෙදා කිඹුල් කඳුළු හෙළන බව කාරියවසම් මහතා අවධාරණය කළේය.

මේ අතර අද දවසේ විවාදයට ගෙන ඇති රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ගැන අදහස් දැක්වූ කාරියවසම් අමාත්‍යවරයා සාමාන්‍යයෙන් රජයකට එරෙහිව මෙවන් යෝජනා ගෙන එන්නේ රජයක් ජනතාවගේ විශ්වාසය කඩකරමින්,පොරොන්දු ඉටු නොකරමින් කාලයක් තිස්සේ ක්‍රියා කරන විට බව පෙන්වා දුන්නේය.

එසේ වුවද මේ රජය බලයට පත්වී තාම ගතවී ඇත්තේ වසරක පමණ කාලයක් බවත්,මේවන විට රජය පොරොන්දු ඉටුකරමින් සිටින නිසා ජනතාවගේ විශ්වාසය පළුදුවී නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ වුවද මෙම විශ්වාසභංග යෝජනා ගෙන එන්නේ ජනතාවගේ විශ්වාසය පළුදුවූ පිරිසක් බවත්,රාජපක්ෂවරුන්ට ඇති චෝදනාවලින් ඒ අය බේරාගැනීම මොවුන්ගේ අභිප්‍රායවී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම විවාදයට හැකිනම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එක්වී තම අදහස් දක්වා අවසානයේ ඡන්ද විමසීමකට එක්වී ඡන්දයද භාවිතා කර යන ලෙස තමන් අභියෝග කරන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය adaderana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles