Friday, April 19, 2024

සීනි දෙන බව පවසා විශාල සමූපාකාර සමිතිවලින් මුදල් වංචාවක් කිරීමක් ගැන තොරතුරු හෙළි වෙයි

සීනි ලබාදෙන බව පවසමින් විවිධ සේවා සමූපාකාර සමිති වලින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් සමූපාකාර හරහා සීනී බෙදා හැරීමේ කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා විය.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මෙරට ක්‍රියාත්මක විවිධ සේවා සමූපාකාර සමිති සම්බන්ධීකරණ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පාරිභෝගික සංගමය විසින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් වට්ස්ඇප් සමූහයක් සකස් කළේය.

එහිදී පසුගිය මාසය තුළ සීනී මිලදී ගැනීම සඳහා විවිධ සේවා සමූපාකාර තුළට සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කොමසාරිස්වරිය විසින් සීනි සමාගමක් සහ ඔවුන්ගේ බැංකු ගිණුමක් පිළිබඳ එම සමූහයට දැනුම් දී ඇති අතර සීනි මිලදී ගැනීමට අදාළ බැංකු ගිණුමට මුදල් බැර කරන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව, මේ වන විටත් දිවයින පුරා පිහිටි විවිධ සේවා සමූපාකාර සමිති අදාළ බැංකු ගිණුමට මුදල් තැම්පත් කර ඇති බව වාර්තා විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපාකාර සමිති 5ක්,කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපාකාර සමිති 2ක් ඇතුලුව සමූපාකාර සමිති 18ක් මේ වන විට අදාළ ගිණුමට මුදල් තැන්පත් කර ඇති බව සඳහන් වේ.

මුදල් තැන්පත් කර මාසයක පමණ කාලයක් ගතව ඇතත් මේ වන තෙක් සීනි හෝ තැන්පත් කරන ලද මුදල් පිළිබඳව කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ අදාළ සීනී සමාගමෙන් විමසූ විට ඔවුන්ද නිසි ප්‍රතිචාර නොදක්වන බව සමූපාකාර සමිති පවසයි.

බොහෝ සමූකාර සමිති සීනි මිලදී ගැනීම සඳහා ලක්ෂ 10කට අධික මුදලක් මෙම බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව අනාවරණය වී ඇත.

සමූපාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ මෙම ගැටලුව පිළිබඳ විවිධ සේවා සමූපාකාර සමිති විසින් තමන් වෙතද පැමිණිලි ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව මේ වන විටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති අතර ලබන සිකුරාදා දිනය වන විට මෙම ගැටලුවට විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බව ලසන්න අලගියවන්න අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව ඒ පිළිබඳ වි‍ශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී යම් පුද්ගලයෙකු හිතා මතා වංචාවක් සිදුකර ඇති බවට අනාවරණය වුවහොත් තරාතිරම නොබලා දඩුවම් ලබාදීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles