Thursday, April 25, 2024

12.12.12 – Manjula Senarathne පොතක් ගැන කතාව…

“ඊයෙ ඉඳං ඔයා ඔය පොතේම ඔළුව ඔබං ඉන්නෙ, අක්කත් එක්ක කතා කරන්නකො.” බිරින්ඳෑ මුළුතැන්ගෙහි සිට හඬින් කියයි.
“එයා එක්ක ඉතිං අවුරුදු හයේ ඉඳලම කතා කරන්නෙ, තව මොනව කතා කරන්නද?” මම කියමි.හතලිස් දෙවසරක නොබිඳෙන මිතුදමක් හිමි, පාසලේ එක ශ්‍රේණියේ සිටම මිතුරී ඉමල්කා ප්‍රංශයේ පැරිස් නුවර වෙසෙන්නී, කෙටි නිවාඩුවකට සැමියා හා පුතු සමග ලංකාවට පැමිණ මේ දිනවල අප නිවසේ සිටියි.

දින එකහමාරක්ම මගේ නෙත් මංජුල සේනාරත්න ගේ 12. 12. 12. මතම ඇලී ඇත. පාඨකයෙකුට මෙවැනි වශීකෘත පොත් හමුවන්නේ ඉඳහිටය.12. 12. 12 ට කේන්ද්‍රවන පැරිස් 14 ට, ඉමල්කාගේ නිවසේ සිට ලයින් 12 උමං දුම්රියට නැග, ‘ඇලේසියා’ ස්ටේශමෙන් බැස මිනිත්තු කිහිපයකින් ළඟා විය හැක. මෙහි ඇතුළත් නගර, වීථි, උමං දුම්රිය මං නුපුරුදු ඒවා නොවන බැවින් නවකතාව වඩාත් ළඟින් දැනෙයි.”එහෙ කතාවක් නේද?” මා පසෙක වාඩිගෙන සිටින ඈ අසයි.”කොහොමද දන්නෙ?” “ඊයෙ මං පිටු 10 ක් විතර කියෙව්වා. කියවන්න ගත්තම අතාරින්න හිතෙන්නෑ. ඔයා කියවල ඉවර වෙනකං මං ඉන්නෙ. පොත මං යනකොට අරං යනව.””ඕගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ කතාවක්. කියවනවනං නිවාඩු දාලා පටං ගනිං. පළවෙනි පිටු හත අටෙන් පස්සෙ පොතෙන් ගැලවෙනව බොරු. මං හිතන්නෙ මේ තමයි සිංහලෙන් මෙතෙක් ලියවිච්ච පර්ෆෙක්ට්ම ක්‍රයිම් ෆික්ෂන් එක. ඉංග්‍රීසි හරි ප්‍රංශ හරි භාෂාවකට පරිවර්තනය වෙන්නම ඕන පොතක්.” * * * *

ලංකාවේ නවකතාව ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. විවිධ ශානරීය මං වෙත ප්‍රවිශ්ට වීමට සිංහල තරුණ නවකතාකරුවන් පෙළඹෙනු දකිත හැක.එසේවුව අපරාධ හා රහස් පරීක්ෂක යනු ලාංකීය නවකතාකරුවන් අඩුවෙන් අත්හදා බලන රචනා කලාපයකි. මංජුල සේනාරත්න මෑතක ලියූ 12. 12. 12 නවකතාව අපරාධ හා රහස් පරීක්ෂක නවකතාවක් සඳහා ලබා දිය හැකි හොඳම ලාංකීය උදාහරණය බව මගේ හැඟීමය. මම මේ නවකතාව කියෙව්වේ දින එකහමාරක් තුළ එක හැල්මේය.ක්‍රයිම් ෆික්ෂන් එකක් සතුවිය යුතු සියළු ගුණාංග ඒ තුළ අඩංගු වනවා පමණක් නොව, නවකතාවක් ලෙස එය එම ශානරය තුළ අත්පත්කර ගතයුතු බොහෝ කලාත්මක මානයන්ද ජයගත් විශිෂ්ට නිමැවුමකි.

සිනමා අකෘතියක පිහිටමින්, අපරාධ හා රහස් පරීක්ෂක නවකතාවක තිබියයුතු නවකතාමය ලකුණු මනරම්ව රැකගනිමින් රචනාවුණු 12. 12. 12 මගේ අත්දැකීම අනුවනම් මෙම ශානරයෙන් ශ්‍රී ලංකාව තුළ ලියැවුණු විශිෂ්ටතම එකය.එම වර්ගයේ නවකතා රචනා කරන්නෙකුට තිබිය යුතු බාෂා නිපුණත්වය මෙන්ම, මොහොතක් පාසා කුතුහලය රඳවා ගැනීමේ විශේෂ නිර්මාණ ප්‍රාගුණ්‍යය මංජුල සේනාරත්නට නොඅඩුව ඇත. එය ඔහු වාක්‍ය අතරදී වෙනස් රිද්මයකින්ද, පරිච්ඡේද අතරදී ඊටම හිමි වෙනස් සුවිශේෂතාවකින්ද රැක ගනී.

මගේ නිර්දේශය නම් 12. 12. 12 නවකතාව වැන්නක් ලබාදෙන සුවිශේෂ ප්‍රබන්ධානන්දය පුහුණු පාඨකයෙකු ඉඳහිට ලැබිය යුතුය.මෙවන් අසිරිමත් නවකතා අත්දැකීමක් හිමිකර දීම වෙනුවෙන් මංජුල සේනාරත්න මිතුරාට මගේ ගෞරවය පිරිනමමි.අවංකවම කියන්නේනම් මෙය ප්‍රකාශකයෙකුට ඉරිසියා හිතෙන පොතකි.

විදර්ශන සමූහ ව්‍යාපාර අධිපති
ජනක ඉනිමංකඩ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles