Friday, April 19, 2024

69 වසරකට පසු හර්තාලයක්…!

‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ එය සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය තුළ ඇති නොනගත කාල සීමාව අනුගමනය කිරීමට සමාන විය යුතු බවය.

එනම් එය සියලු වැඩ අත්හැර නිවෙස්වලට වී කාලය ගත කිරීමක් විය යුතු බවය.

පැහැදිලිවම පෙනුණු පරිදි එය පැවති ඉතාමත්ම සන්සුන් සහ ප්‍රචණ්ඩකාරී නොවන විරෝධය දැක්වීමේ ක්‍රමය විය.

1950 වර්ෂය වනවිටත් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කිසියම් ස්ථාවරත්වයක් පවත්වා ගත් රටක් විය. කොතරම් දේශපාලන ඇඟිලි ගැසීම් පැවතිය ද බ්‍රිතාන්‍ය යකඩ සපත්තුවට පෑගී සිටිය ද ශ්‍රී ලංකාවේ රබර් සඳහා තිබුණු ඉල්ලුම නිසා රටට සල්ලි ගලා ආවේ ය. බ්‍රිතාන්‍යයට පවා ණය ලබා දුන් භාණ්ඩාගාරයක් එවක ලංකාවට පැවතිණි. නමුත් ලෝක යුද්ධය සහ කොරියානු යුද්ධයේ බලපෑම නිසා රබර් වෙළඳපොළ පිළිබඳ ගැටලුවක් ඇති විය. සහල් නිෂ්පාදනය ද එවක පහත වැටී පැවතිණි.

රට ආර්ථිකයෙන් කඩාගෙන වැටෙන විට එවක ඩී.එස්.සේනානායක ආණ්ඩුවට කළ හැකි කිසිවක් නොවී ය. ඩී.එස්.සේනානායකගේ මරණයෙන් පසු අග්‍රාමාත්‍ය පදවියට පත්වූයේ ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා ය. මුදල් ඇමතිවරයාව සිටියේ ‘යැංකි ඩිකී’ අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද ජේ.ආර්. ජයවර්ධන මහතා ය. 1953 වසර එළඹෙන විට රටේ මූල්‍ය තත්ත්වය තවත් අයහපත් වන්නට පටන් ගෙන තිබිණි. කොරියානු යුද්ධයේ මුල් කාලයේ ඇතිවූ වාසිදායක තත්ත්වය හේතුවෙන් 1952 ජනවාරි වන විට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209ක්‌ දක්‌වා ඉහළ ගිය නමුත් 1953 ජූලි අයවැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්‌වා පහත වැටී තිබුණි.

1953 වන විට සහල් ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට හා පාසල් සිසුන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරය නවතා දැමීම වැනි සුබ සාධන කටයුතු නවතා දැමීමට ආණ්ඩුවට අවශ්‍ය විය. ඒ ලෝක ආර්ථිකයේ කඩා වැටීමට මුහුණ දීම සඳහා යැයි පැවසිණි. එවැන්නකින් රට තුළ නොසන්සුන්තාවයක් ඇති වන බවද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොදැන සිටියා නොවේ. එහෙත් හර්තාලයක් වැනි සටනක් සිදු වෙතැයි නොසිතූහ. 


මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා අයවැය යෝජනා ගෙන ඒමට පෙර ආහාර ඇමැතිව සිටි සර් ඔලිවර් ගුණතිලක මුට්ටිය දමා බැලීමක් සිදු කළේය. ඒ 53 ජුලි 07 දින සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේදීය. 20 වැනිදා සිට හාල් සත 70 යි. කම්කරුවන්ට සේරු 02 යි. මෙරට හාල් මිල හුඟාක් අඩු වේවි. සාමාන්‍ය පොතකට හාල් සේරු 1 1/4 යි. ළමා පොතකට හාල් සේරු 01 යි. ළඳරු පොතකට 3/4 යි. ඔහු පැවසීය. 


ආහාර අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් කේ. අල්වා පිල්ලේ මහතා පවසා ඇත්තේ මාස කිහිපයකට පසු වුවත් හාල් කොටස දෙගුණ කිරීමේ අදහසක් නැහැ. මේ පිළිබඳව තවදුරටත් සලකා බලනවා. 


ජනතාවට පටි තද කර ගන්නා ලෙස පවසන ආණ්ඩුව ධනපතියන්ට බදු සහන දෙමින් ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවට ගැළපෙන සේ ආර්ථිකය හසුරු වන බව වමේ නායකයෝ වේදිකා දෙදරවමින් පැවසුහ. තුරඟ තරග සඳහා විදේශ විනිමය වැය කර අශ්වයින් ගෙන්වීම එක් නිදසුනක් සේ සැලකිණ. 


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පවා ණය ආධාර ලබා දීමට හැකියාව තිබු රටක් කළු සුද්දන් හා සෙල්ලක්කාර දේශපාලුවන් විසින් විනාශය කරා ගෙන යන බවට කෑ මොර දුන්නාහ. මේ කාලය අතර තුර ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සාකච්ඡා හා සම්ම්න්ත්‍රණ දිවයින පුරා පැවැත්වීමට වමේ නායකයෝ පියවර ගත්හ. කම්කරු සමිති ද සිය සාමාජිකත්වය නිරතුරුවම දැනුම්වත් කළේය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කතා බහට ද ජනතාව සවන් දුන්හ. සමස්ත දිවයිනම ගෝල්ෆේස් රැලිය පැවැත්වීමට පෙර ද කතා බහ කළේ අය වැය යෝජනා පිළිබඳවය. 


ජුලි 23 වැනිදා ගෝල් ෆේස් රැළිය පෝෂණය කිරීමට පහත සඳහන් සිදුවීම් ද ඉහවල් වේ. 21 උදේ කොළඹ වරාය කම්කරු පිරිස සහල් සහනාධාර කපා දැමීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම් වස් පැය 03 ක් වැඩ නවතා ගෝඩන් උද්‍යානයට එක් රැස් වී රැස්වීමක් පැවැත් වූහ.

හෙට එවන් වූ ඓතිහාසික දිනයකි. 69ලක්ෂයක ජනතාවගේ කරමතින් බලයට පැමිණි ආණ්ඩුවක් රටෙි සියලුම පද්ධතීන් බිඳ දමා විනාශ කොට, රට බංකොලොත් තත්ත්වයට පත්කිරීමට එරෙහිව වසර 69කට පසු මෙම හර්තාලය ක්‍රියාත්මක වීම දෛවෝපගතය.‍ෙ

හෙට 06 වැනිදා පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාලය, සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට පිළිතුරු නොදෙන්නේ නම්, ආණ්ඩුව ගෙදර යන තුරු සිදුකෙරෙන අඛණ්ඩ වර්ජනය සහ අඛණ්ඩ හර්තාලය මැයි 11 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

හර්තාලය සඳහා සහාය පළකර ඇති වෘත්තීය සමිති හ සිවිල් සංවිධාන සංඛ්‍යාව 2000කට අධික ය. සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලි, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය ගණනක් ඊට අයත් වේ.

හර්තාල් දින දුම්රිය නවතියි. නිවාසවලත් කළු කොඩි දමන්නැ යි ඉල්ලීමක්

මැයි 06 වැනිදා පැවැත්වෙන හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් හෙට (මැයි 05) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිවේදනය කරයි.

කඩසාප්පු හා වෙළෙඳසැල් වසා දමා විරෝධතාවයට එක්වන ලෙස වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ද ඉල්ලා සිටියි.



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles