Thursday, March 28, 2024

ගුවන් යානා බද්දට ගැනීමේ තීරණයට එජාපය එරෙහි වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ ව්‍යාපෘතිය වහාම නතර කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම ගුවන් යානා 21 බද්දට ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට මිල ගණන් කැදවා ඇති බවයි වාර්තා වන්නේ.  ඉදිරි වසර 3 ඇතුළදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඒ සම්බන්ධයෙන් එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගෙන ඇති තීරණය සදහා පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි එක්සත් ජාතික පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන ව්‍යවසායයක් ලෙස පොදු ව්‍යාවසාය කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  යන දෙඅංශයම වර්ගීකරණය කර තිබෙනවා. විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබියදී මෙවැනි තීරණයක් ගැනීම පිළිබදව රජය සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය ජනතාව දැනුවත් කළ යුතු බවයි එක්සත් ජාතික පක්‍ෂය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සදහා ණය ආධාරයක්  ලබාගැනීමට රජය මේ වනවිට ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. නව ගුවන් යානා බද්දට ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවද ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කරනු ඇති බවයි එක්සත් ජාතික පක්‍ෂය වැඩිදුරටත් සදහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles