Thursday, April 25, 2024

ඇෆ්ගන් භූකම්පනයෙන් විපතට පත් ජනතාවට ඉන්දියාවෙන් අඛණ්ඩව ආධාර

ඇෆගනිස්ථානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත් ජනතාවට දෙවැනි වරටත් ආධාර තොගයක් පිටත්කර යැවීමට ඉන්දීය රජය පසුගියදා කටයුතු කර ඇති අතර එහිදී ටොන් 27 ක ආහාර ගුවන් මගින් එරටට පිටත් කර යවා ඇති බව වාර්තා වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශකයෙක් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් තහවුරු කර තිබුණේ ආධාර රැගත් තවත් ගුවන් යානා දෙකක් දෙවැනි වරටත් කාබුල් වෙත යවන ලද බවත් එසේ යවන ලද ආධාර අතර සමූහ කූඩාරම්, තනි පුද්ගලයන්ට නිදාගැනීමට භාවිත කිරීමට හැකි බෑග්, පොරෝනා, පැදුරු ඇතුළු මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩ අයත් වූ බවත්ය

ඉන්දීය රජය විසින් පිරිනමන ලද මෙම අත්‍යාවශ්‍ය ආධාර ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය වෙත හා එරට ක්‍රියාත්මක Afghan Red Crescent Society (ARCS) සංවිධාන වෙත නිල වශයෙන් බාරදීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබුණේ ය.

‘අප මුහුණ පෑ භූකම්පන අනතුර සමඟ පළමුව මානුෂීය ආධාර ලබාදීමට ඉදිරිපත් වූයේ ඉන්දීය රජයයි. ඔවුන් හා ඇෆ්ගනිස්ථානය අතර ශත වර්ෂ කීපයක් තිස්සේ පවතින මිත්‍රත්වය හා සම්බන්ධතාව මෙමගින් ප්‍රකාශ වනවා.‘ යැයි ඇෆ්ගන් රජයේ ප්‍රකාශකයෙක් පවසා තිබුණේ ය.

ඔහු තවදුරටත් පවසා තිබුණේ ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමීරය විසින් ඉන්දීය රජයේ මෙම ආධාර ක්‍රියාවලිය මහත් සේ අගය කරන බවත් ඔවුන් විසින් තාක්ෂණික කණ්ඩායමක් හා රාජතාන්ත්‍රිකයන් පිරිසක් කාබුල්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය වෙත එවමින් තම ජනතාව වෙත සුවිශාල ශක්තියක් සැපයූ බවත් තලිබාන් ප්‍රකාශකයකු වන අබ්දුල් ක්හාර් ද පැවසූයේ නිවේදනයක් නිකුත් කරමිනි.

එමගින් ඉන්දියාව ඇෆ්ගනිස්ථානය හා එහි ජනතාව සමඟ පවත්වන මානුෂීය සම්බන්ධතාවේ ප්‍රබල බව හා ගැඹුරු භාවය ප්‍රකාශ වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ය.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට ප්‍රබලව බලපෑ මෙම භූකම්පනය වාර්තාවූයේ පසුගිය සිකුරාදා අළුයම් කාලයේ ය. එම භූකම්පනයෙන් විපතට පත් ජනතාව ගලවා ගැනීම සඳහා සහන සේවකයන් කණ්ඩායම් දෙකක් ද කාබුල් වෙත යැවීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබුණේ ය. දින දෙකක කාලයක් තුළ මෙලෙස විපතට පත් ජනතාව ගලවා ගැනීම ඉලක්ක කරගනිමින් සහන කණ්ඩායම් එරටට පිටත් කරයැවීමට ඔවුන් කටයුතුකර තිබිණි.

ඒ අනුව පසුගිය ජූනි 22 වැනිදා එරටට බලපෑ භූකම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට පළමුව ඉදිරිපත්වූ රාජ්‍ය වූයේ ද ඉන්දියාව වීම සුවිශේෂත්වයකි. ඒ පෙර සඳහන් කළ ආකාරයට ටොන් 27 ක අත්‍යාවශ්‍ය ආහාර තොගයක් භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත ලබාදෙමිනි.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පැක්ටිකා ප්‍රදේශයේ වාර්තා වූ මෙම භූකම්පනයෙන් පැක්ටිකා ප්‍රදේශයේ බාර්මාල් සහ ගියාන් දිස්ත්‍රික්කයන් හි හා කෝස්ට් ප්‍රාන්තයේ ස්පෙරා දිස්ත්‍රික්කයේ ජීවත් වූ ඇෆ්ගන් ජාතිකයන් දහසකට අධික පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා විණි.

ඊට අතිරේකව එක් දහස් පන්සියකට ආසන්න පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇත. ඔවුන්ගෙන් බහුතරයකගේ තත්ත්වය බරපතල බව ද සඳහන්ය. භූකම්පනයෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව එක්දහස් පන්සීයකට අධිකය. මෙම අනතුර වාර්තා වූ සැණින් ටොන් දහයක වෛද්‍ය සහනාධාර තොගයක් යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ද කටයුතු කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles