Thursday, March 28, 2024

2022 දී ඉන්දියාවේ යුද ශක්තිය වර්ධනය වෙලා

ඉන්දියාව 2022 වර්ෂයේදී සිය සමස්ත යුද ශක්තිය සැලකිව යුතු ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. ඒ අතරින් 2022 වසරේ ඉන්දියාව අත්පත් කරගත් ප්‍රධානම ජයග්‍රහණයක් වන්නේ, ඔක්තෝම්බර් මාසයේදී, සිය ප්‍රථම ස්වදේශීය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය වන ‘අරිහන්ට්’ වෙතින් බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමයි.

එය ඉන්දියාවේ උපායමාර්ගික ප්‍රහාරක හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඒ අනුව එක්සත් ජනපදය, රුසියාව, එක්සත් රාජධානිය, චීනය සහ ප්‍රංශය සමඟින්, බැලස්ටික් මිසයිලවලින් සන්නද්ධ න්‍යෂ්ටික බලැති සබ්මැරීන ඇති හයවන රට බවට ඉන්දියාව පත්ව තිබේ.

අනෙක් අතට චීන හමුදා විසින් ටවාන්ග් අතුලු කලාප රැසක දේශසීමා එකඟතා උල්ලංඝනය කිරීම් හේතුවෙන්, ඉන්දියාවට දකුණු ආසියාවේ ඔවුන්ගේ උපායමාර්ගික ඉලක්ක කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට සිදුව ඇත. මේ නිසාම කිලෝමීටර් 3,500කට ආසන්න සත්‍ය පාලන රේඛාව (LAC) ආරක්‍ෂා කරන ඉන්දීය හමුදාවන්ගේ සටන් හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා විවිධ නව හමුදා උපක්‍රම සහ ආයුධ ලබාගැනීමටද ඉන්දියාව පියවර ගෙන තිබේ. එහිදී සන්නද්ධ හමුදාවන් වෙත සැලකිව යුතු ප්‍රමාණයක්‌ හමුදාමය නව තාක්ෂණය මෙන්ම සැහැල්ලු යුද ටැංකි, නෞකා නාශක මිසයිල, මාර්ගෝපදේශන යටතේ ගමන් කරවිය හැකි දිගු දුර බෝම්බ, නවීන පාබල ප්‍රහාරක යානා සහ විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා ලබා ගැනීමටද ඉන්දියාව කටයුතු කර ඇත.

පසුගිය වසර තුළදී, කලාපය තුළ සිය බලපෑම වැඩි කිරීමට චීනය කළ නිරන්තර උත්සාහයන් හමුවේ ඉන්දියාව දකුණු ආසියාවේ සියලුම මිත්‍ර රටවල් සමඟ හමුදා සහයෝගීතාවන්ද පුළුල් කළ අතර, විශේෂයෙන් යාබද ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවල් සමග නව ආරක්ෂක ගිවිසුම් වෙතද එළඹීමට කටයුතු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles