Friday, April 19, 2024

ලංකාව කබලෙන් ලිපට ඇද දමන චීන නැව.

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වෙනස් වන දේශපාලන පරිසරය මධ්‍යයේ චීනය විසින් ශ්‍රී ලංකාවට අයත්, එහෙත් චීනය විසින් පාලනය කරනු ලබන හම්බන්තොට වෙත ඔත්තු බැලීමේ පහසුකම් සහිත යුද නෞකාවක් පිටත් කර ඒවා තිබේ. මෙම පියවරත් සමග මතුව ඇති ප්‍රධානම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව ආසන්න ඉන්දීය සාගර වෙරළ තීරයේ ප්‍රබල හමුදා බලයක් ස්ථාපිත කිරීමට චීනය උත්සාහ කරමින් සිටින්නේද යන්නයි. චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් යුආන් වැන්ග් 5 නම් මෙම අධි තාක්ෂණික යාත්‍රාව විස්තර කර ඇත්තේ ඉන්දියන් සාගරයේ පර්යේෂණ සිදුකිරීමට අදහස් කරන සමීක්ෂණ නෞකාවක් ලෙසයි. එහෙත් මැදහත් විශ්ලේෂකයන් විසින් නගනු ලබන ප්‍රශ්නය වන්නේ අගෝස්තු 11 වන දින හම්බන්තොටට පැමිණ සතියක කාලයක් එහි රැඳී සිටීමට නියමිත මෙම නෞකාව අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් සමන්විතව ඇත්තේ කුමන උපායමාර්ගික අරමුණක් සඳහා දැයි යන්නයි. හම්බන්තොට වරාය ද්විත්ව භාවිතයකට, එනම් වාණිජ හා මිලිටරි භාවිතයට උපයෝගී කරගැනීම ගැනීම චීනයේ ඉලක්කයයි. එමනිසාම යුදමය අරමුණක් සහිතව වරාය වෙත නෞකා රැගෙන ඒම සහ මෙහෙයවීමේ හැකියාව ගොඩනැගීමට චීනය උත්සාහ කරමින් සිටින බව, මෑත කාලීනව චීනයේ හැසිරීම් දෙස බලන විට හඳුනාගැනීම අපහසු වන්නේ නැත.‍

චීනයේ අරමුණවී ඇත්තේ තම හමුදා නැව්වලට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අවස්ථාව උදාකර ගැනීමයි. සෘජුවම යුදමය නොවන, එහෙත් හමුදා භාවිතයක් සහිත මෙම අධි තාක්ෂණික නෞකාව හම්බන්තොට වරාය වෙත ගෙන ඒමට චීනය සුදානම් වන්නේ එහි පළමු පියවරක් ලෙසිනි. මෙම ඉලක්කය සපුරා ගන්නා තාක් කල්, එනම් සිය මිලිටරි නෞකා හම්බන්තොටට ගෙන ඒමට හැකිතාක් චීනයට දකුණු ආසියාවේ පහල කෙලවරේ හමුදා කඳවුරක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් උද්ගත වන්නේ නැත. මන්ද සිය මිලිටරි බලය නෞකා සහ සබ්මැරීන බලය ඔස්සේ මෙහෙයවීමට චීනය සතුව සම්පත් පවතින බැවිනි.

ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ අර්බුද රැසක් මධ්‍යයේය. ආර්ථික අර්බුදය නිරාකරණය කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනතරජතික මූල්‍ය අරමුදලෙන් (IMF) ණය මුදලක් අපේක්ෂා කරයි. එම ණය ලබාදීම වෙනුවෙන් මුල්‍ය අරමුදල විසින් කොන්දේසි ගණනාවක් පනවා ඇති අතර, එහි ප්‍රධානම කොන්දේසියක් වන්නේ චීනය ඇතුළු ද්විපාර්ශ්වික ණයදෙන්නන් වෙතින් ලබාගෙන ඇති ණය පළමුවෙන් ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු බවයි. ඒ අනුව ගෙවීමට ඇති ඩොලර් බිලියන ගණනක අධික පොළී ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කර ඇති නමුත්, එම ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කර තිබේ. චීනයේ එම සහයෝගීතාවයෙන් තොරව ශ්‍රී ලංකාවට මුල්‍ය අරමුදලේ මූල්‍යාධාර ලබා ගැනීමට නොහැකි වන අතර, රට මූල්‍ය මඩ ගොහොරුවක ගැඹුරට ගිලී යෑමේ අවදානමට මුහුණදෙනු ඇත. ශ්‍රී ලංකාවේ සිය අවස්ථා ගණනාවකදීම කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේපවූ බැවින්, දැන් මේ වෙනුවෙන්ම නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ සංචාරයක නිරතවෙමින් චීන ජනාධිපතිවරයාගෙන්ම එම ඉල්ලීම සිදුකිරීමට සලසුම් සකස් කරමින් සිටී. දැන් චීනය විසින් සිය මිලිටරි අරමුණු වෙනුවෙන් උපයෝගී කරගනිමින් සිටින්නේ ශ්‍රී ලංකාව මෙලෙස අසරණවී සිටින ‘මහඟු අවස්ථාවයි’.
ඒ අනුව චීනයේ ප්‍රතිවාදියා වන ඉන්දියාව ඉලක්ක කර ගැනීමට භාවිත කළ හැකි, චීන හමුදා පහසුකම් ශ්‍රී ලංකාව ආශ්‍රිතව නිර්මාණය කිරීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට චීනයට දැන් ණයදෙන්නෙකු ලෙස තම බලපෑම භාවිත කිරීමට හැකියාව ලැබී ඇත. එහෙත් ඉන්දියාවට, එය බරපතල කනස්සල්ලට හේතුවක් වන කරුණකි. චීනය ඉන්දියාවට මීට පෙර විවිධ අවස්ථාවලදී මිලිටරි අභියෝග එල්ලකර ඇති නමුත් මෙය ඉන්දියාවට පහල සිට එවැනි අභියෝගයක් එල්ල කරන පළමු අවස්ථාවයි. අනෙක් අතට ඉන්දියානු සාගරය ආශ්‍රිත මුහුදු මාර්ග ආසියාව හා යුරෝපය යා කරන බැවින්, ශ්‍රී ලංකාවේ චීන හමුදා බලය පිහිටුවීමේ පියවර ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ද කනස්සල්ලට හේතුවීම අනිවාර්ය වේ.

දීර්ඝ කාලීනව සැලසුම් කෙරෙන මිලිටරි බලය ස්ථාපනය කිරීමේ උත්සාහයකට අමතරව චීනයට මේ මොහොතේ මෙම නෞකාව උපයෝගී කරගනිමින් ඉන්දියාවට බලපෑම් කළහැකි ආකාර ගණනාවක්ද වේ. ඉන්දියාව විශේෂයෙන්ම මෙම නෞකාව සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර ඇත්තේ එබැවිනි. හම්බන්තොට වරාය යනු ඉන්දියාවට පවතින උපායමාර්ගික හිසරදයකි. එය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රධාන භූමියෙන් කිලෝමීටර 150ක පමණ එතරම් විශාල නොවන දුරකිනි. එනම් හම්බන්තොට සිට ඉතාම පහසුවෙන් ඉන්දීය නෞකා සහ වරායන් පිළිබඳව ඔත්තු බැලීමේ හැකියාව පවතී. ඇත්තෙන්ම යුවාන් වැන්ග්-5 නෞකාවට ඒ සඳහා හැකියාවක් ඇතිද? තාක්ෂණිකව ඊට පිළිතුර වන්නේ ‘ඔව්’ යන්නයි. යුවාන් වැන්ග්-5 යනු තවත් එක සම්ප්‍රදායික මිලිටරි නෞකාවක් නොවේ. එය තුවක්කු සවිකරගත් නෞකාවක් පමණක් නොවේ. එය ‘ලුහුබැඳීම්’ සිදුකළ හැකි නෞකාවකි. චීනය පවසන්නේ එය පර්යේෂණ නෞකාවක් ලෙසිනි. එය නිර්මාණය කර ඇත්තේ 2007 වසරේදීය. එහි දිග මීටර 220කි. නෞකාවේ මෙතෙක් කාර්යභාරය වී ඇත්තේ පෙරකී ලෙස චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික මිසයිල ලුහුබැඳීමයි. එහි ආවරණ කලාපය අවම තරමින් කිලෝමීටර 750කි. එනම් එම දුර ඇතුලත පිහිටි ඉන්දීය සම්පත් ඉලක්ක කර ගවේෂණ සිදුකිරීමේ හැකියාව මෙම චීන නෞකාව සතුව පවතී. එසේනම් එම කලාපය තුල නෞකාවට ආවරණය කළ හැක්කේ මොනවාද?
ඒ අතරින් ප්‍රධාන මර්මස්ථානයක් වන්නේ ඉන්දියාවේ කල්පාක්කම්හි ඇති න්‍යෂ්ටික බලාගාරයයි. අනෙක වන්නේ කූඩාන්කුලම්හි ස්ථාපිත පරමාණුක මධ්‍යස්ථානයයි. එසේම කෝචිහි පිහිටි නාවික මධ්‍යස්ථානය සහ දකුණු ඉන්දීය වෙරළ තිරයේ ඇති ප්‍රධාන වරායන් 06ක්ද ඉන්දියාව සිය බලපෑමට ලක්විය හැකි මර්මස්ථාන ලෙස සලකනු ලබයි. මේ නිසාම ඉන්දීය රජය විසින් මේ වන විටත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් අනතුරු අඟවා ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්යංශය විසින් ඒ වෙනුවෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.”ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථික කටයුතුවලට බලපානු ලබන සියලුම තත්වයන් පිළිබඳව ඉන්දියාව දැඩි ලෙස සලකා බලනු ලැබේ. එසේම ඉන්දියාව ඒ වෙනුවෙන් ගතහැකි සියලුම අවශ්‍ය පියවර ගැනීමටද පසුබට වන්නේ නැත.” යැයි එම නිවේදනයේ සඳහන් කර ඇත. ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ මෙම චීන නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව පසුවන්නේ කිසිදු ප්‍රසාදයකින් නොවන බවයි. වාර්තා අනාවරණය කරන ආකාරයට ඉන්දීය නාවික හමුදාව පසුවන්නේ ‘තත්වයන්’ පිළිබඳව සිරුවෙනි. එම නිසාම නාවික හමුදාව නිරන්තරයෙන් චීන නෞකාවේ ගමන් මග නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාවට සහ ඉන්දියවට පමණක් නොව සමස්ත ගෝලීය මිලිටරි බල තුලනයටම බලපෑම් එල්ලකළ හැකි මෙම ‘චීන නෞකාගමනය’ පිළිබඳව ශ්‍රී ලංකා රජය පසුවිය යුත්තේ මීට වඩා දැඩි අවධානයෙනි. තමාට මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදයට තාවකාලික විසඳුමක් ලබාගැනීමට ගොස්, එමගින් ඇතිවන දීර්ඝ කාලින අවදානම් නොසලකා හැරීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම හැකියාවක් නැත. විශේෂයෙන් සිය ඓතිහාසික අසල්වැසියා සහ ආරක්ෂකයා වන ඉන්දියාවට සහ කලාපයට සෘජුවම බලපානු මෙවැනි මිලිටරි ආක්‍රමණයකට සිය මුහුදු සිමාව භාවිත කිරීමට ඉඩලබා දීමට ශ්‍රී ලංකාවට කිසිදු සදාචාරත්මක හැකියාවක් ඇත්තේද නැති බව මෙහිදී පෙන්වාදිය යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles