Saturday, April 20, 2024

පොලිස් ඇඳිරි නීතිය අවසන්. බිහිසුණු තත්ත්වය පාලනය කෙරේ. (Video)

ඊයේ රාත්‍රියේ කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, නුගේගොඩ, ගල්කිස්ස සහ කැළණිය පොලිස් බල ප්‍රදේශ සඳහා පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (01) අලුයම 5 ට ඉවත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරනවා.

ඊයේ රාත්‍රියේ කැලණිය දළුගම ප්‍රදේශයේ ඇතිවූ විරෝධතාව නිසා කොළඹ-නුවර මහා මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබූ අතර අවට කලබලකාරී තත්ත්වයක්ද හටගෙන තිබුණි.

එහිදී විරෝධතාකරුවන් දර දමා මහමග ගිනි අවුළුවා තිබුණි.

ජනාධිපතිවරයාගේ  නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා විය. නමුත් එය කවරෙකු විසින් සිදුකළේද යන්න මෙතෙක් තහවුරුව නොමැත. නමුත් හදිසියේ හිස් බස් රථයක් එම ස්ථානයේ නවතා තැබුවේ කුමකටද යන්න පැහැදිලි නොමැති බව විරෝධතාකරුවෝ පවසති.

එම පිරිස එම ස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව පෙනී ගිය හෙයින් ජනපති නිවෙස අසල සිටි පිරිස් වෙත රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ලකර ඔවුන් විසුරුවාහැරීමට පොලීසිය කටයුතු කර තිබුණි. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත. තත්ත්වය පාලනය කිරීමට වහාම පොලිස් ඇඳිරිනීතිය පණවනු ලැබීය.

මෙම ගැටුමින් දස දෙනෙකු තුවාල ලබා කළුබෝවිල සහ කොළඹ රෝහල් වලට ඇතුළු කර ඇති අතර ඉන් කිහිපදෙනෙක් මාධ්‍යවේදීන් බව වාර්තා වේ.

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසූ අතර එය අප්‍රේල් පළමුවැනිදා අළුයම 5ට නිමවිය.

නුගේගොඩ හා මිරිහාන අවට පාලනය මුළුමනින්ම යුද හමුදාව අතට පත්කර ඇත.



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles