Thursday, April 18, 2024

“ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු ” (Photos)

මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ.

ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, රජයේ එක්සත් කළමනාකරණ සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ජාතික සේවක සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය, ග්‍රාම නිලධාරී සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය එකමුතුව ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක සේවකයන් මෙම වෘත්තීය අරගලය ශක්තිමත් කිරීම සඳහා එක්වන බවද කුමුදේශ් මහතා කීය.

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවට එපා වූ ආණ්ඩුවක් නොමැති තරම් බවත් ඔහු පැවසීය. ජනතාවට ජීවත්වීමට ඇති මාර්ග අහුරමින්, ජනතාව මත තව තවත් බර පටවමින්, මහජන මුදල් නාස්ති කරමින්, තමන් හා තම සහචරයන්ගේ මඩිය තරකර ගන්නා මෙම පාලනය ඉවත් කළයුතු බව ද ඔහු කීය. ඒ සමගම මොවුන් වෙනුවට තවත් මෙවැනිම ජනතා ද්‍රෝහීන් රැළක් ජනතාව රවටමින් බලයට පැමිණීම වැළැක්වීමට පියවර ගතයුතු බවද ඔහු පැවසීය.

මෙම ආණ්ඩුව බලයට පැමිණි පසු මැති ඇමැතිවරුන් සැප විඳිමින් සීනි බදු වංචාව, ඇන්ටිජන් මගඩිය, සුදු ලූනු වංචාව වැනි දූෂණ හා වංචා අති විශාල ප්‍රමාණයක් සිදු කළ බව ද ඔහු කීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන්ද අද නිවාඩු වාර්තා කර නිදහස් චතුරස්‍රය අසල පෙරවරු 10.00 සිට නිහඩ විරෝධතාවක් පවත්වයි. මෙම එක් දින වර්ජනය හේතුවෙන් රට පුරා රජයේ කාර්යාලවලින් රාජකාරි කටයුතු සිදුකර ගැනීමට පැමිණෙන මහ ජනතාවට සිය සේවාවන් ඉටුකර ගැනීමේ අපහසුතා ඇතිවීමට ඉඩ ඇති නිසා ඒ සඳහා විකල්ප දින සැලසුම් කරන ලෙස ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉල්ලා සිටී.

විදුලි ඉංජිනේරු සංගමය ද අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යෑම සඳහා ඉංජිනේරුවන් රඳවා තැබීමටත් සංගමයේ අනෙකුත් සාමාජිකයන් අද නිවාඩු වාර්තා කර කොළඹ කොටුවේ විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දහවල් 11.00ට විරෝධතාවක් පවත්වන බවත් එම සංගමය කියා සිටී.

“ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු ” තේමාවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර විරෝධතා පාගමනක් ද අද දහවල් 12.00ට කොළඹ කොටුව දුම්රියපොළ අසළින් ආරම්භ වනවා.

අද(28) දිනයේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද දෙපාර්තමේන්තු කිහිපයක එක්දින සේවාවන්ට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කටයුතු සිදුකෙරෙනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles