Friday, March 29, 2024

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව ගැන අලුතින් හිතැන්නැයි ඉන්දියාවෙන් පණිවිඩයක්

භූදේශපාලනික තත්ත්වය වෙනස් වීම හේතුකොටගෙන ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව මානයකින් සිතා බලා කටයුතුකළ යුතුව ඇතැයි ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානී අජිත් ඩොවාල් පැවසීය.
ඒ සඳහා සහජීවනය අතිශය වැදගත් වන බව ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානිය මේ බව ප්‍රකාශ කළේ නාවික ආරක්ෂාව සම්බන්ධ ආයතන සමූහයේ සහභාගිත්වයෙන් පැවැති පළමු රැස්වීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙම නාවික ආරක්ෂාව සම්බන්ධ ආයතන සමූහය ක්‍රියාත්මක වන්නේ ජාතික ආරක්ෂක උපදේශක යටතේය.
වයිස් අද්මිරාල් (විශ්‍රාමික) ජී. අශෝක් කුමාර් පෙබරවාරි මාසයේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් සේවාවට එක්විය.
අදාළ රැස්වීම සඳහා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන මධ්‍යම රජයේ අමාත්‍යාංශය, නියෝජිතායතන සහ ආරක්ෂක අංශවල සාමාජිකයින් සහ වෙරළබඩ ප්‍රාන්ත ඇතුළු රාජ්‍ය සමුද්‍ර ආරක්ෂක සම්බන්ධීකාරකවරුන් සහභාගිවී තිබිණි.

සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී වෙරළාශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය මෙම හමුවේදී අවධාරණය වී තිබිණි.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ තාක්ෂණය වැඩිදියුණු කිරීම උදෙසා ආයෝජන සිදුකිරීම අතිශය වැදගත් බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුහුදු කොල්ලකෑම් මෙහිදී ප්‍රමුඛ ගැටලු බවත් ඒවා වැළැක්වීමටත් ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීමටත් රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවය ගැනද එහිදී සාකච්ඡා වී ඇත.
මෙම සමුළුවේදී සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරණා රැසකට එළඹීමද සිදුවූ බව එම කමිටු ආරංචි මාර්ග උපුටා දක්වන විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වරාය හා වෙරළ ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ජාතික සමුද්‍රීය තොරතුරු පද්ධතියක් යාවත්කාලීන කිරීම, වෙරළ ආශ්‍රිතව පවතින ප්‍රාන්ත ගොඩනැගිලි සමූහයන්හි ඉඩකඩ වැඩිදියුණු කිරීම හා නීල ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙහිදී වැඩි වශයෙන් සංවාදයට බඳුන් කෙරී ඇත.
පොදු ප්‍රටෝකෝලයක් සෑදීමේදී මධ්‍ය රජය හා සෙසු අංශ ඒකාබද්ධවීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද අදාළ සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.
මේ වනවිට ඉන්දීය වෙළෙඳාමෙන් සියයට අනූපහක් සිදුවන්නේ ප්‍රධාන මුහුදු මාර්ග 12 ක් හා අප්‍රධාන වරාය 200 කට වැඩි ප්‍රමාණයක් භාවිත කරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles