Wednesday, April 24, 2024

නොරොච්චෝලේ නොරොක් වන්නේ ඇයි?

අත්‍යවශ්‍ය අමතර කොටස් නියමිත කාලයට ලබාගැනීම දුෂ්කරවී ඇති බැවින් මේ වන විට අක්‍රිය කර ඇති චීනය විසින් පාලනය කරන නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයේ නැවත පණගැන්වීමේ කටයුතු අනිවාර්යයෙන්ම ප්‍රමාදවිය හැකි බව විදුලිබල මණ්ඩල වාර්තා අනාවරණය කරනවා. ඒ හේතුවෙන් විදුලිබල පද්ධතියට එම ජනන යන්ත්‍රය හරහා ලබාදෙන මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවේ හිඟය තවත් සලකිවයුතු කාලයක් පවතිනු ඇතැයි පැවසෙනවා. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ (LVPP) 2 වන ඒකකය 2022 ජුනි 18 වන දින සැලසුම් කර තිබූ පරිදි විශාල අලුත්වැඩියාවක් සඳහා වසා දමනු ලැබුවා. ලක්විජය බලාගාරයේ 02වන ජනන ඒකකය හරහා ජාතික විදුලිබල පද්ධතියට විදුලිය ලබාදීම ආරම්භ කරන ලද්දේ 2014 ජනවාරි 24 වන දිනය.

විදුලිබල මණ්ඩලයට අනුව, නිෂ්පාදකයාගේ නිර්දේශය අනුව, මෙගාවොට් 300 ගල් අඟුරු වාෂ්ප බලාගාරයේ A මට්ටමේ ප්‍රතිසංස්කරණය එහි ක්‍රියාකාරිත්වයෙන් වසර හතරක් හෝ හයකට පසුව සිදු කළ යුතුය. එහි 2 වන ඒකකය 2014 ජනවාරි මාසයේදී ක්‍රියාකාරිත්වය ආරම්භ කළ අතර, එහි පළමු මට්ටමේ B ප්‍රතිසංස්කරණය 2018 අගෝස්තු මාසයේදී සම්පූර්ණ කරනු ලැබුවා. එය සිදුකළ පළමු දිනයේ සිට වසර අටකට වැඩි කාලයක් ක්‍රියාත්මක වීමට නියමිතය. දැන් බලාගාරයේ නිෂ්පාදක සමගම නිර්දේශ කර ඇත්තේ A මට්ටමේ ප්‍රතිසංස්කරණය ප්‍රමාදයකින් තොරව කඩිනමින් සිදුකල යුතු බවය.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේ නියමිත වේලාවට නඩත්තුව අවසන් කිරීමට අමතර කොටස් ලබා ගැනීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් බවයි. මෙම අත්‍යවශ්‍ය අමතර කොටස් ලබාගැනීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක පමණ මුදලක් අවශ්‍යවන බවද සභාපතිවරයා පෙන්වාදෙයි. කෙසේවෙතත් මෙම අමතර කොටස් පහසුවෙන් ණය පදනම මත ලබාදීමේ හැකියාව චීනයට පවතිනවා. ඊට හේතුව චීනය විසින් මෙරටට ලබාදී ඇති හුවමාරු ණය මුදලක් දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවතීමයි. එහෙත් එම ණය මුදල ශ්‍රී ලංකාවේ කිසිදු කටයුත්තක් වෙනුවෙන් භාවිත කිරීම තහනම් කරමින් චීනය කොන්දේසි පනවා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles