Thursday, March 28, 2024

අත්අඩංගුවට ගත් තරුණයන් නිදහස් කරන්නැයි ඉල්ලා පකිස්තානයේ විරෝධතා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් 13 දෙනා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස පකිස්තානයේ ගිල්ගිට් බෝල්ටිස්තාන කලාපයේ ජැෆෙරියා ජන කණ්ඩායම් නායකයා වන අගා රාට් හුසෙන් එරට පාලකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම තරුණයන් නිදහස් කරදෙන ලෙස වත්මන් ගිල්ගිට් බෝල්ටිස්තානයේ පාලකයන් වෙත බලපෑම් කරමින් මීට මාස දෙකකට පෙර සිට විවිධ විරෝධතා පැවති අතර එහිදී අදාළ තරුණයන් නිදහස් කරන බවට රජය විසින් උද්ඝෝෂකයන්ට ප්‍රතිඥා ලබාදී තිබිණි.
මේ වනවිට අදාළ තරුණයන් නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලයට බලකරමින් පැවැත්වෙන උද්ඝෝෂණය හා විරෝධතාවය දින ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
යම් හෙයකින් ජනතාවගේ හඬට කන් නොදෙන්නේ නම් මෙවැනි විරෝධතා රට පුරා දියත් කිරීමට කටයුතු කරන බව ෂියා මුස්ලිම් නායකයන් විසින් පසුගියදා ගිල්ගිට් බෝල්ටිස්තාන රජයට අනතුරු හැඟවීමක්ද නිකුත් කළේය.
මේ වනවිට ගිල්ගිට්බෝල්ටිස්තාන ප්‍රදේශය පාකිස්තානයේ පස්වැනි ප්‍රාන්තය බවට පත්කරගැනීමේ ක්‍රියාවලියක් ආරම්භවී තිබේ.
එරට මාධ්‍ය කියා සිටියේ ඊට අනුකූල වන ආකාරයෙන් ව්‍යවස්ථා කෙටුම්පතක් මේ වනවිට සකස් කරමින් ඇති බවයි.
චීනය හා පාකිස්තානය අතර වන ආර්ථික කොරිඩෝරය විවෘතව ඇත්තේ ද මෙම කලාපය ඔස්සේ බව සඳහන් වේ.
දැනට අමෙරිකානු ඩොලර් බිලියන 65 ක වියදමින් චීනය හා පාකිස්තානය අතර ගොඩනැගෙන මෙම ආර්ථික කොරිඩෝරයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකෙන්නේ ගිල්ගිට් බෝල්ටිස්තාන ප්‍රදේශයයි.
චීනයේ ෂිංජියැංග් පළාත සමඟ සම්බන්ධ වෙමින් දෙරට අතර ආර්ථික කොරිඩෝරය ක්‍රියාත්මක කෙරේ.
මෙම තත්ත්වය යටතේ තම පළාතේ ජනමතය නොසලකා හරිමින් පාකිස්තානය විසින් ගිල්ගිට් බෝල්ටිස්තානය චීනයට පාවාදීමේ උත්සාහයක් පවතින බවටද අදාළ විරෝධතාකරුවෝ චෝදනා කරති.
දැනට පවතින සාකච්ඡාවන්ට අනුව අක්කර 640ක බිම් ප්‍රමානයක් චීනයට බදුදීමට පාකිස්තාන මධ්‍යම රජය තීරණය කර ඇති බවත් ඔවුන් ලබාගත් ණය මුදල් වෙනුවෙන් හිලව්වට මෙම ඉඩම් හිතුමතයේ පැවරීමට සැලසුම්කර ඇති බවත් ගිල්ගිට් බෝල්ටිස්තාන විරෝධතාකරුවෝ වැඩිදුරටත් චෝදනා කරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles