Thursday, April 25, 2024

ජනපතිට රටින් පිටවන ලෙස යෝජනාවක්…

පාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම තම මව් රටට යා යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“ඉදිරි කාලයේ දී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමටත් මාධ්‍ය ප්‍රචාරණය අවහිර කිරීමටත් කටයුතු කරන බව අපිට දැනගන්නට ලැබී තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණය හා මහජන නිදහස තවදුරටත් උල්ලංඝනය කිරීමට කිසිම ආකාරයකට රාජපක්ෂවරුන්ට අයිතියක් නැහැ. යුක්තියක් නැහැ. ඇතැම් මාධ්‍ය ඉතාමත්ම පහත් ආකාරයට තමයි කටයුතු කළේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට. නමුත් මර්දනයට එරෙහිව සියලුම මාධ්‍ය හා සියලුම පොදු ජනතාව පිබිදීමෙන්, අවදි වීමෙන් කටයුතු කල යුතුයි. මර්දනය අස්සේ මෙවැනි ආකාරයට දියත් කරපු පාලනයන්, ලංකාවෙත්, ලෝක ඉතිහාසයේත් තියෙනවා. ඒවා කෙලවර වෙන්නෙත්, ඉතාම භයානක අන්තයන්ගෙන්, භයානක ලේ ගංගාවක් බවට මේ රට පත් වෙන එකෙන් කියන එක මේ රාජපක්ෂ පවුල මතක තබා ගත යුතුයි. ඔවුන්ට තව විකල්පයක් තියෙනවා. සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට මේ රට තවත් පාලනය කරන්න බැරි බව තේරුම් අරගෙන, රට ලේ විලක් නොකොට පාර්ලිමේන්තුවට බලය පවරලා, විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙලා, තමන්ගේ මව් රට වන ඇමරිකා එක්සත් ජනපදයට යාම තමයි අද මේ රටේ සාතිශය බහුතරයක් එතුමාට ඡන්දය දුන් හැට නම ලක්ෂයේත් බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. පොලීසියට, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අයට බොහොම වැදගත් පණිවිඩ දෙන්න ඕනේ ආරක්ෂක අංශවලට. ඔබත් අද මේ රාජපක්ෂ පාලනයේ වින්දිතයන් පිරිසක්, ඔබටත් ගෑස් නැහැ. ඔබටත් ලයිට් නැහැ. ඔබටත් කිරිපිටි නැහැ. ඔබේ දරුවොත් වැළපෙනවා. ඔබේ දෙමාපියොත් පෝලිම් වලට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ දුකට පත්වෙච්ච ජනතාව නීතියේ බලය පාවිච්චි කරලා බලලෝභීව ක්‍රියා කරන උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අණ ක්‍රියාත්මක කරලා සමස්ත ජනතාව මර්දනය කිරීම සඳහා කටයුතු කරන්න එපා කියන ආයාචනය අපි ඉදිරිපත් කරනවා.”

රාජපක්ෂ පවුල ගලවාගැනීම සඳහා ඉදිරිපත් වන සියළුදෙනාට ඉතිහාසයේ ලැබිය යුතු ඉරණම දිට්ඨධම්මවේදනීය කර්ම ඵල විපාක ලැබෙනු ඇත. රටේ ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින්නේ තම ඉරණම තනි පවුලක් විසින් කොල්ලකෑමට එරෙහිව නැගී සිටින ලෙස බව රණවක මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles