Saturday, July 27, 2024

අධිවේගී මාර්ග පිවිසුම් යළි විවෘත වේ. යන්ත්‍ර ගලවාගෙන ගිය සේවකයෝ වැඩට එති.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් වී තිබේ. මේ හේතුව නිසා ඊයේ මගීන් හට හමුදාව විසින් ගමන්නාන්ත සඳහන් තුණ්ඩු කැබලි ලබා දුන් අතර ඊට හේතුව වූයේ රජයට අයත් බිල්පත් නිකුක් කරන යන්ත්‍ර සේවකයින් විසින් ගලවාගෙන යාමයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ එම යන්ත්‍රවලට හානියක් සිදුකර ඇත්නම් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ඊයේ (22) උදෑසන ආරම්භ කළ වර්ජනයක් නිසා අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම් මෙන්ම මුදල් අයකිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා තිබිණි.

මහාමාර්ග අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ  11,000ක් පමණ වූ සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනය සඳහා අසනීප නිවාඩු වාර්තා කර තිබිණි. 

ඊට හේතුව වන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට ආදායම් ලබන එකම ව්‍යාපෘතිය වන අධිවේගි මාර්ග පද්ධතිය මුදල් අමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමකට පැවරීමට සහ හඳුන්වාදීමට නියමිත බඳවාගැනීමේ පටිපාටියට විරෝධය පළ කිරීම මෙන්ම 2023 වසරේ ලබා නොගත් නිවාඩු වෙනුවෙන් හිමිවන දීමනා ලබාදෙන ලෙස කළ ඉල්ලීමයි.

සිය ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම මත ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ඇති විධායක ඉංජිනේරු, පළාත් භාර අධ්‍යක්ෂ, ව්‍යාපෘති කාර්යාල සහ අධිවේගී මාර්ගවල සේවකයින් අද මෙලෙස වර්ජනයකට අවතීර්ණ වී ඇති බව වර්ජනයේ නිරත ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව පැවසීය.

දක්ෂිණ අධිවේගි මාර්ගයට යුද හමුදාවත් කටුනායකට ගුවන් හමුදාවත් මධ්‍යම අධිවේගි මාර්ගයට නාවික හමුදාවත් ලෙස සේවයට යෙදවීමට රජය පියරව‌ෙ ගෙන තිබුණි.

Related Articles

Latest Articles