Sunday, September 22, 2024

අක්කරයක් කාටද රු.100ට ගන්න පුළුවන් -ඇමති රාජිත

හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයාගෙන් ඉඩම සදහා රුපියල් 10,000 ක වාර්ෂික ගාස්තුවක් අය කර ගන්නේ නම් ලබාදීමට නියමිත ඉඩම් අක්කර ගණන හා සැසදීමේදී දී එහි අක්කරයක් ලබාදෙන්නේ රුපියල් 100 කට බව තමා කළ ප්‍රකාශය නිවැරදි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

කෙසේ වුවද රජයේ ඉඩම් අක්කරයක් රුපියල් 10,000 ක වාර්ෂික ගාස්තුවකට හෝ ලබාදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ  පිළිබදව ජනාධිපතිවරයා ලබන සතියේ දී විශේෂ සාකචිඡාවක් කැඳවන බවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ ව්‍යාපෘතිය පිළිබදව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගිය 26 වන දින නිකුත් කළ නිවේදනය පිළිබද අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කළ ව්‍යාපාරිකයා පිළිබදව අග්‍රාමාත්‍යවරයා දැනුවත්ව නොසිටි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය 25 දින කොළඹ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමෙ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලදි. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රවෘත්ති නිවේදදනයක් නිකුත් කර තිබුනි.

ඒ අනුව ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ ටයර් කර්මාන්ත ශාලව සඳහා ඉඩම ලබාදීම ආයෝජන මණ්ඩලය මේ සතිය ආරම්භයේදී තාවකාලිකව අත්හිටුවා ඇත.

නන්දන ලොකුවිතාන මහතා ආයෝජන මණ්ඩලය සමඟ අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ ඉඩමේ වැඩ කටයුතු ආරම්භ කරන බව ආරංචි වීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ආරක්ෂක අංශ නිලධාරීන් 100 දෙනකුට ආසන්න පිරිසක් අදාළ ඉඩම වෙත යවා තිබේ. කෙසේ වෙතත් එම ක්‍රියාකාරකම් ආරම්භ වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලය ඔස්සේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවට සටහනක් යවා තිබියදීය.

නන්දන ලොකුවිතාන මහතාගේ ටයර් සමාගමට අක්කර 100 ක් බද්දට දීමෙන් ආයෝජන මණ්ඩලයට පාඩුවක් සිදුවන බව ද ජනාධිපතිවරයා දන්වා ඇතැයි වාර්තා වේ. මේ අතර තවත් ආයෝජකයන් මෙම ඉඩම සඳහා ඉහළ මිල ගණන් කැඳවා තිබියදී ඊට අඩු මුදලකට මෙලෙස නන්දන ලොකුවිතාන මහතාට අදාළ ඉඩම ලබා දී ඇතැයි ද වාර්තා විය.
ටයර් කර්මාන්ත ශාලාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මුල් ගල තැබුණු අතර අගමැතිවරයා මුල් ගල තැබූ ජනවාරි 5 වැනිදා තෙක් ආයෝජකයා කවුරුන්දැයි නොදැන සිට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් දා මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles