අගමැතිගෙන් ප්‍රශ්න අසා පිළිතුරු ගැනීම අද සිට යළිත් ඇරඹෙි

0
317

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව අද සිට යළි ක්‍රියාත්මක වනවා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවූ පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබාදීමට හැකියාව නොලැබුණු බවයි.

මේ අතර 2020 අංක 07 දරණ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි ද පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා කාලය ප්‍රතිශෝධනය කිරීමට අදාළ සංශෝධනද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

මීට අමතරව, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් කරන ලද ආඥාවට අදාළ ගැසට් පත්‍රය අද පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here