Saturday, September 21, 2024

අගමැතිතුමාගේ නායකත්වයෙන් තියෙන මේ ආණ්ඩුව ලේසියෙන් ඡන්දෙකින් පරද්දන්න බැහැ

මහනුවර හීරැස්සගල මංසන්ධියේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කොට සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භක උත්සවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-10-28 වන අද දින පැවැත්විනි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත රුපියල් මිලියන 1290.5 ක් වැය කොට මෙම මාර්ග කොටස සංවර්ධනය කරනු ලබයි. මෙම මාර්ග කොටසේ දුර කිලෝමීටර 2.1 කි.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නෑගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා…

වර්තමානය වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු වීමට යන බවට පවතින කතාබහ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා
මම නම් ගම් කියන්නේ නැහැ. කිසි කෙනෙක් පාවා දෙන්නේ නැහැ. හුගක් අය කතා කරනවා. ඉතින් කලබල නොවී අවශ්‍ය වෙලාවට ආසියෝ සහ තුරුම්පු අපි ගහනවා. කවුරු හරි වෙන වෙන ආසියෝ තුරුම්පු ගහන්න හදනවා නම් අපිත් තුරුම්පු වලට ලෑස්ති වෙලා ඉන්නේ.

ආණ්ඩු පක්ෂය සමග සම්බන්ධවීමට කී දෙනෙක් විතර සාකච්ඡාවට සහභාගී වෙනවදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,


“ඒකෙ ගණන් හිලව් කියන්න ඕනි නැහැනේ. ප්‍රේමදාස මහත්තයා දඟලන්නේ එතුමාගේ විපක්ෂනායකකම බේරගන්න. දිසානායක මහත්තයා බේරගන්න හදන්නේ එතුමගේ පක්ෂ නායකකම. ඒ නිසා අපේ උපක්‍රම අපි කියන්නේ නැහැ. කවුරු දැඟලුවත් අපි අවශ්‍ය වෙලාවට අපේ රජය අවශ්‍ය කරන තුරුම්පු ටික ගහනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලකිරිලා ඉන්නේ. අපි දන්නවා ලොබියේ දි මොනවාද කියන්නේ කියලා. ලොබිය දී කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ නායකත්වයෙන් සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් තියෙන මේ ආණ්ඩුව ලේසියෙන් ඡන්දෙකින් පරද්දන්න බැහැ කියන එකයි.”

සුළු පක්ෂ නායකයින් ඔබතුමාලා සමග සාකච්ඡා කරනවා දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,
“සුළු පක්ෂ නායකයින් ගොඩක් දෙනෙක් අපිත් එක්ක වැඩ කරනවා. ඔවුන් ඉතාමත්ම විශ්වාසයෙන් අපිත් එක්ක දැන් සාකච්ඡා කරගෙන යනවා මේ යන වැඩපිළිවෙළ. ඔවුන් දන්නවා ඇතුළෙ තත්ත්වය මොකක්ද කියලා. ඔවුන් දන්නවා ප්‍රේමදාස මහත්තයාට ඒ නායකත්වය දෙන්න බැහැ කියලා. ඒ නිසා පැහැදිලිව අපි ඒවා කියන්න යන්නේ නැහැ. අඬ බෙර ගහන්න යන්නේ නැහැ. ඔබතුමාලට තේරෙනවා ඇති යන දේශපාලන වාතාවරනය. විපක්ෂය සම්පූර්ණයෙන්ම පනස්පන් ලක්ෂයෙන් හුඟාක් පසු බැස ඇති බව පේනවනේ. පොහොට්ටුවට ඡන්ද වැඩි වෙනවා මිසක් ඡන්ද අඩු වෙන්නේ නැහැ. හුඟක් දේවල් කියන්න බැහැ. අපි බලමු ඡන්දයක් ආපුහාම.”

අයවැයත් සමග විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එන පිරිස ඒවි දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා
එහෙම වෙලාවල් දැන්ම මාධ්‍යයට කියන්න බැහැනේ. එතකොට ඒ වැඩසටහනට ඒගොල්ලො වෙන වැඩසටහන් හදනවනේ. ඒවා උපක්‍රමශීලීව කරමු.

මෙම අවස්ථාවට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles