Saturday, September 21, 2024

ඇමතිවරුන් දෙදෙනක් සමඟ අගමැති රහසිගත සාකච්ඡාවක් පවත්වයි – ආණ්ඩුව ගැන විවේචනයකුත් කරයි


ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන්ගෙන් රජයට දැඩි විවේචන එල්ලවෙමින් තිබියදී පවත්නා අර්බුදකාරී තත්ත්වය ගැන තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා තීන්දු කර තිබේ.

පවත්නා සංකීර්ණ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පසුගිය බදාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති රහසිගත සාකච්ඡාවකින් පසුව අගමැතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.

අග්‍රාමාත්‍යවරයා සමඟ මෙකී රහස් කතාබහට සහභාගි වී ඇත්තේ අමාත්‍ය විමල් වීරවංශ හා ඇමැති අලි සබ්‍රි යන මහත්වරුය.

ඒ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර හා කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර ද මේ සතියේ රජයට දැඩි විවේචන එල්ල කළෝය. වාසු යූ-ටියුබ් සාකච්ඡාවකදී කියා තිබුණේ තවදුරටත් මේ රජයේ සිටිය නොහැකි බැවින් ඉවත් වීමට සිදුවන බවය. ඩිව් ගුණසේකර මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙය ඔලමොට්ටල රජයක් බවය. ඔහුගේ විවේචනය ඉතා කර්කෂ නිර්දය විවේචනයක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙලෙස තත්ත්වය උග්‍ර අතට පත්වෙද්දී අග්‍රාමාත්‍යවරයා තවත් ප්‍රධාන පක්ෂ කිහිපයක නායකයන් සමඟ ලබන සතියේ ජනාධිපතිවරයා මුණගැසී මේ ගැන ඍජු සාකච්ඡාවක් කිරීමට තීන්දු කළේය. එහි පළමු වටයට අගමැතිවරයා ප්‍රධාන හවුල්කාර පක්ෂ නායකයන් කිහිප දෙනකු පමණක් සහභාගි වනු ඇත. දෙවැනි වටයේදී සාකච්ඡාව සඳහා ජනපතිවරයා, අගමැතිවරයා හවුල්කාර පක්ෂ නායකයන් හා අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහභාගි කර ගැනීමට තීන්දු වී ඇත.

අගමැතිවරයා මෙලෙස ජනපති සමඟ තීරණාත්මක සාකච්ඡාවකට සහභාගිවීමේ තීන්දුව ගනු ලැබුවේ ගිය බදාදා විමල් වීරවංශ හා අලි සබ්‍රි අමාත්‍යවරුන් සමඟ පැවති යට කී රහසිගත සාකච්ඡාවෙන් පසුවය. මෙම හමුවේදී ආණ්ඩුවේ ඇතැම් තීරණවලට තමන්ටද එකඟවීමට අසීරු බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. – Deshaya

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles