Tuesday, November 26, 2024

අඩු කළ මිලට ඖෂධ රජයේ ඔසුසල්වලින්

ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වාසිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අද (24) සිට ජනතාවට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සංස්ථාවට නියෝග කර ඇත.

ඒ අනුව රට පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් 32 න් සහ නියෝජිත ඔසුසල් 130 කින් අඩු කළ මිලට ඖෂධ ලබාගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇත.

අඩු කළ ඖෂධ වර්ග 48 ඖෂධ තොග වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංසථාව රැස්කර තබාගෙන ඇති අතර ඒවා ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා පවසයි.

මෙම සියලු ඖෂධ නැව්ගත කිරීමට පෙර සහ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර තත්ත්ව පරීක්ෂණයක් ද සිදු කර ඇත.

ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රයට අනුව මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබීම පිළිබඳව විමර්ශන ආරම්භ කරන ලෙස ඇමැතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ ආහාර පරික්ෂක නිලධාරීන් යොදා ගන්නා ලෙස ද ඇමැතිවරයා දැනුම් දී තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහාය ද ඒ සඳහා ලබාගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

නියමිත උපරිම සිල්ලර මිලට ඖෂධ අලෙවි නොකරන ඔසුසල් වැටලීම කරන ලෙසත්, එවැනි ඔසුසල් පිළිබඳ පැමිණිලි දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් ඉදිරියේදි හඳුන්වා දීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඖෂධ තොග වශයෙන් ආනයනය කර රැස් කර තබා ගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සහ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. දෙවන අදියර යටතේ අධික මිල ගණන් යටතේ අලෙවි කරන ඖෂධ වර්ගවල මිල අඩු කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles