අදානි සමූහය කොළඹ වරාය, බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹීමට සූදානම්

0
290

ඉන්දියාවේ අදානි සමූහය කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරිම් මේ වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සූදානම් බව හින්දු පුවත්පත වාර්තා කළා.

ඇප්සෙස් හෙවත් අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම ඒ සඳහා මෙරට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්වන බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අදානි සමූහයට ලබාදීම සඳහා දේශීය හවුල්කරුවන් එක් කර ගැනීම කොන්දේසියක් බව සඳහන්.

බටහිර පර්යන්තය ඉදිකර, පවත්වාගෙන යමින් වසර 35 ක් තුල හුවමාරු කිරීමේ ගිවිසුමට අදානි සමාගම නොවැම්බරයේදී අත්සන් තබනු ඇති බවයි හින්දු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළේ.

ඒ සඳහා ඉන්දියාවේ විශාලතම පෞද්ගලික වරාය සහ ප්‍රවාහන සේවා ජාලය වන අදානි සමූහයට අයත් ඇප්සෙස් සමාගම වෙත ලක් රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙතින් අභිලාෂ ලිපිය පසුගිය මාර්තු මාසයේදී ලැබී තිබෙනවා.

මීටර් 1400 ක් දිගැති මීටර් 20 ක් ගැඹුරු ලෙස ඉදිකෙරෙන බටහිර පර්යන්තය, බහාලුම් ඒකක මිලියන 3 යි දශම 5 ක ධාරිතාවක් සහිත වන අතර, එමගින් අති විශාල බහාලුම් නෞකා හැසිරවීමට ද හැකිවනු ඇති.

ඒ අනුව, එය කලාපයේ ප්‍රධාන පෙලේ නෞකා භාණ්ඩ ප්‍රතිඅපනයන පර්යන්තයක් බව ද පත්වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මීට පෙර ඉන්දියාවේ සහයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණ ද වරාය සේවක විරෝධතාව හේතුවෙන් එය පසුව අත්හැර දැමුණා. ඒ අනුව, එය මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මකයි.

Truth Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here