අද ඩොලරය අලෙවිය වෙන්නෙ 260- 290 ත් අතර.කොහොමද කටක් ඇරලා කියන්නෙ රට බංකොලොත් කියලා – හර්ෂ

0
281

අද උදෑසන විනිමය වෙළෙදපොළේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 260ත් 290ත් අතර මුදලකට අලෙවි වන බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේයැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු මෙහිදී අනාවරණය කළේ තමන් සභාව අමතන මොහොතේදීත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙක හමාරක් රුපියල් 260 බැගින් හුවමාරු වූ බවය.

මේ තත්ත්වය තුළ මහ බැංකුව ඩොලරය රුපියල් 230ක අගයක රැඳවීම ගැන කියන්නේ කවර කතාවක්දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ අතරේ මුදල් අමාත්‍යංශය විදෙස්ගත ශ්‍රමිකයන්ට රුපියල් 20ක් අතිරේකව ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවත් මේ සියල්ල තුළ අපැහැදලිකම් පවතින බවත් පෙන්වා දුන් අතර මේ වනවිට රට බංකොළොත් වී ඇති බව අප අකැමැත්තෙන් වුවද තේරුම් ගත යුතු බව සඳහන් කළේය.


ඒ අනුව අද රටේ ඩීසල්, පෙට්‍රල්, කිරි, ගෑස්, බෙහෙත්, විදුලිය නොමැති බවත් එය බංකොලොත් භාවය නොවේදැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ වී ඇති බවත් මහබැංකුවේ විදේශ වත්කම්වලට වඩා මහබැංකුවේ විදේශ වගකීම් ඩොලර් බිලියන දෙකහමාරකින් වැඩිවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

“අපි බංකොලොත් . කිරිපිටි නෑ. ගෑස් නෑ. පෙට්‍රල් ඩීසල් නෑ ලයිට් නෑ. මම ඊයේ පැය දෙක හමාරක් ඩීසල් පෝලිමේ හිටියා.

රට බංකොලොත්. ඒත් කොහොමද කටක් ඇරල කියන්නේ රට බංකොලොත් කියල. අපි විපක්ෂයේ හිටියත් අපටත් රට ගැන හැඟීමක් තිබෙනවා. අපට කියන්න පුළුවන්ද රට බංකොලොත් කියලා.

මේ වනවිට ශ්‍රි ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ ගාණක්. මේ විදේශ වත්කම්වලට වඩා විදේශ වගකීම් ඩොලර් බිලියන 2.5ක් වැඩියි. එහෙමනම් නම් අපි කියන්නේ කොහොමද රට බංකොලොත් නෑ කියල. රට බංකොලොත් තමයි.”

“අඩුම ගානේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවටවත් මේකට උත්තර දෙන්න එන්න ඕන. අපි කල්තියාම මේ ගැන කිව්වා. දැන්වත් අපි ඒකතුවෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයමු. මොකද මේක අපේ රට”

පක්ෂවලට බෙදී සිටියද අපි සියල්ලන්ම ශ්‍රී ලංකිකයන් බවත් රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා සියලු දෙනාම එකතුවී කටයුතු කළයුතු බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here