Monday, January 27, 2025

අධිකරණයට නිදහස දුන්නා මා අස්‌ කළේ ඒනිසයි මම අදත් කියනවා හම්බන්තොට වරාය ගිවිසුම නීති විරෝධියි මෙවැනි කැබිනට්‌ එකක සිටීම නින්දාවක්‌

අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලට අයුතු ලෙස බලපෑම් නොකොට ඒවාට ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩහැරීම නිසා තමාව අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කළේ යෑයි හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා ඊයේ (23 දා) අධිකරණ අමාත්‍යාංශය අසලදී මාධ්‍ය අමතමින් පැවසීය.

ඊයේ දහවල් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්‌ඩලයට සිය ස්‌තුතිය පුදකොට නික්‌ම යන මොහොතේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එලෙස පැවසීය.

අධිකරණ ඇමැතිවරයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලට අයුතු ලෙස බලපෑම් කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් යමක්‌ පැවසීමට ඇති දැයි එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා මෙසේ ද පැවසීය.

මම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වුණේ නෑ. මාව ඉවත් කළා. සමහරු මට චෝදනා කළත් මාව ඉවත් කිරීමට මූලික වී ඇත්තේ මම එම ආයතනවල කටයුතු වලට අයුතු බලපෑම් නොකිරීමයි. එහෙම බලපෑම් නොකළ හේතුව නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ අමාත්‍ය ධුරයකින් ඉවත් කළ එකම අමාත්‍යවරයා මමයි.

මම මාස හයයි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ කැබිනට්‌ මණ්‌ඩලයේ හිටියේ. මම එදා එතනින් එළියට බැස්‌සේ මගේ හෘද සාක්‌ෂියට එකඟව මට පැවරූ රාජකාරිය ඉටුකරන්න නොලැබුණ නිසයි. මට විරුද්ධව දැන් ඔය කෑගහන අය එදා හිටියේ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ඔඩොක්‌කුවේ කුක්‌කෝ වගේ.

ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නීතිමය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව එහි ද මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ඇමැතිවරයා මෙසේ කීය.

ඒ ගැන වැරැද්දක්‌ තියෙනවා නම් චෝදනා කරන්න ඕනෑ හිටපු නීතිපතිටයි. එතුමා තමයි තීරණය කළේ ඇවන්ගාඩ් සමාගමට නඩු පවරන්න බෑ කියලා. මම ඒ චෝදනාවේ වරදකරුවෙක්‌ නම් වර්තමාන ආරක්‌ෂක ලේකම්වරයා ඇතුළු බහුතරයකුත් ඒ චෝදනාවට වරදකරුවන් විය යුතුයි. කැබිනට්‌ මණ්‌ඩලයේ සාමූහික වගකීම් ඉටු නොකළ බවටත් හම්බන්තොට වරාය බදු දීම ගැන විවේචනය කළ බවත් මට චෝදනා කරනවා. මම අදටත් කියනවා වරාය බදු දීමේ ගිවිසුම පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයකින් සම්මත කර ගත යුතු දෙයක්‌ කියලා. ඒ ගිවිසුම නීති විරෝධී ගිවිසුමක්‌ කියලා මම අදත් කියනවා. මෙවැනි කැබිනට්‌ මණ්‌ඩලයක සිටීම නින්දාසහගතයි කියලා මට හිතෙනවා.

ඇවන්ගාඩ් නීති විරෝධී නම් අදටත් ඇවන්ගාඩ් සමාගමට අයත් නැවක්‌ රතු මුහුදේ නවතා තිබෙනවා. ඒකේ ශ්‍රී ලංකා රජය යටතේ ලියාපදිංචි කළ ආයුධ 500 ක්‌ තියෙනවා. එතකොට ඒක නීති විරෝධි නැති ද?

මා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් තවමත් මම එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරයෙක්‌. මම ස්‌වාධීනව කටයුතු කරනවා. මම දේශපාලන වශයෙන් ගන්න තීරණ ඔබතුමාලාට ළඟදීම දැනගන්න ලැබේවි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles