Tuesday, September 24, 2024

‘අධිවේගයේ’ ගම්පහ ඉදිකිරීම් නතර කරන්නේ නෑ.. – අමාත්‍යංශ ලේකම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් තාවකාලිකව නතර කර ඇති බවට පළව ඇති වාර්තා, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේමසිරි ප්‍රතික්‍ෂේප කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බවයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත්දා ප්‍රකාශ කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු හේතුවෙන්, ඉකුත්දා පැවති වර්ෂාවත් සමග ගම්පහ නගරය සහ අවට ප්‍රදේශ ජලයෙන් යට වූ බවට වාර්තා පළව තිබුණා. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන්  මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පැවති බවයි මහාමාර්ග ලේකම්වරයා සදහන් කළේ. 

එහිදී ගම්පහ නගරය සහ ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවීම පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එහිදී මතු වූ කරුණු අනුව කෙටි කලකදී මිලිමීටර් 300 කට අධික වර්ෂාපතනයක් පැවතීමත් ප්‍රදේශයේ ජලය බැසයාම සදහා ඇති කාණු පද්ධති සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත්, දුම්රිය මාර්ගයේ ජලය බැසයාමේ අවහිරතා ගංවතුර තත්ත්වයට හේතු වූ ප්‍රධාන කරුණු ලෙස හදුනාගෙන තිබෙනවා. 

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිවූවාද යන්න ඉකුත්දා පැවති එම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ. ඒ අනුව අධිවේගී මාර්ගය ඉදිකිරීමට ප්‍රථම ශක්‍යතා අධ්‍යයනයේදී සිදුකළ ජල කළමණාකරණ අධ්‍යයනය නැවත සමාලෝචනය කිරීමට එම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ජලය බැස යන බෝක්කු සහ පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණය සංශෝධනය කිරීමට යෝජිත අධ්‍යයනයේදී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ. අදාළ ප්‍රදේශවල ජනතාවට අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී යම් පීඩාකාරී තත්ත්වයක් ඇතී වී ඇත්නම් සහ ඉදිරියේදී ඇතිවීමේ හැකියාවක් ඇත්නම් ඒවා මගහරවා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති අතර එහි කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවද මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේමසිරි නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.  
(NETH NEWS)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles