Monday, January 13, 2025

අනුරට බිත්තර ගහපු සිද්ධියට රජය කණගාටුව පළ කරයි

කළගෙඩිහේන ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

අද (පෙබ. 01) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම සිද්ධිය පිළිබඳව රජයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජයේ මතය කුමක් දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ, එම සිදුවීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ය.

එමෙන් ම එම සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කණගාටුව පළ කරන අතර ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය වශයෙන් දැනුම් දී ඇති බව ද ඔහු පැවසී ය.

සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් රජයේ කිසිදු සබඳතාවක් නොමැති අතර යම් පුද්ගලයෙකු රජය අපහසුතාවට පත් කිරීම සඳහා මෙය සිදු කළා ද ? යන සැකය පවතින බව ය.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිළිබඳව දැනුවත් කළ බවත් වහාම පරීක්ෂණයක් පවත්න ලෙස ඉල්ලා සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ කුලී හමුදාව කොහේ පුහුණුව ලැබූවන් වුවත් ජවිපෙ සාමාජිකයන්ගේ පුහුණුව, කැපකිරීම මත අනතුරක් වළක්වා ගත හැකි වූ බව ජවිපෙ ප්‍රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

ගම්පහදීත්, පසුගියදා කොටුව උද්ඝෝෂණයේදීත් බිත්තර ප්‍රහාර එල්ල කළේ එකම කණ්ඩායමක් බවත් ඔවුන් ‘ඇවන්ට්ගාඩ්’ කණ්ඩායම බවත් මේ වන විට අනාවරණය වී ඇතැයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ජාතික ජන බලවේගයේ සමුළුවට ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහය දැඩි පිළිකුලෙන් හෙළාදකින අතර මීට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ජනතාව විසින් ආණ්ඩුව ගැන තීරණ ගනු ඇති බවත් ඒ මහතා පැවැසුවේ ඊයේ (31) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles