Thursday, January 23, 2025

අනුරාධපුර-මිහින්තලේ ලක්ෂ 2500ක සංවර්ධන වැඩ

 

මෙවර ජාතික පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම පිණිස අනුරාධපුරය හා මිහින්තලේ ආගමික කටයුතු ප්‍රවර්ධනයට රජය හා පෞද්ගලික අංශ රුපියල් ලක්ෂ 2500 කට අධික සංවර්ධන කටයුතු සිදුකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි. මිහින්තලේ පූජා භූමි සංවර්ධනය හා අනුරාධපුර රුවන්වැලි සෑය පැරණි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් දිසාපතිවරයා පවසයි. මිහින්තලේ සංවර්ධනය පිණිස රජය රුපියල් ලක්ෂ 500 කට අධික මුදලක් වැය කර ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ රතනසාර නාහිමියෝ පවසති.

ඒ අනුව සලපතල මළුව සංරක්ෂණය හා සංවර්ධනයට රුපියල් ලක්ෂ 350 ක් ද මිහින්තලය ධර්ම ශාලාව ඉදි කිරීමට රුපියල් ලක්ෂ 150 ක් ද රජය මගින් ලබාදී ඇති බව ද විහාරාධිපති හිමිපාණෝ පවසති. ඊට අමතරව උඩමළුව හා අවට විහාරාරාම ප්‍රදේශ සංරක්ෂණයට තවත් මුදල් වැය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ‍රජයේ සියලු මැති ඇමැතිවරුන්ගේ උතුරු මැද පළාත් සභාව මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදෙන බවත් ඒ අනුව අතීතයේ පැවැති සලපතල මළුවේ ගිලාබැසීම් පිපිරීම් දැන් සංරක්ෂණය කර ඇති බවත් ධම්මරතන හිමියෝ පැවසූහ.

ඒ සමඟම මිහින්තලේ රජ මහා විහා‍රයේ දායක සභාව හා පරිත්‍යාගශීලීන් ගේ අනුග්‍රහය ඇතිව ප්‍රධාන විහාරයේ හා බෝධීන් වහන්සේ වටා රන් වියන් සකස් කර ඇති බව ද රජයේ හා පළාත් සභාව සමඟ යුද හමුදා ඉංජිනේරු බළකාය හා ලේක්හවුස් ආයතනය මේ සඳහා දායක වන බව ද වලවාහැංගුණවැවේ රතනසාර හිමිපාණෝ පැවසූහ.

මීට අමතරව මිහින්තලේ මහා සෑය ඇතුළු වෙහෙර විහාර හුණු පිරියම් කර ඇති බවත් ජලය විදුලිය වැසිකිලි හා ආරක්ෂක පහසුකම් රැසක් මිහින්තලය පුරා ක්‍රියාත්මක බවත් විහාරාධිපති හිමිපාණෝ පවසති.

අනුරාධපුර පූජා නගරයේ පූර්ණ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2000 ක් පමණ වැය කර ඇතැයි අනුරාධපුරය දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.

ඒ අනුව අනුරාධපුරය රුවන්වැලි සෑයේ රුපියල් ලක්ෂ 1500 ක වියදමකින් ප්‍රතිසංස්කරණය කළ ප්‍රධාන විහාර මන්දිරය ද 16 වැනිදා ජනාධිපතිතුමා අතින් විවෘත විය. එයට මොබිටෙල් ආයතනය අනුග්‍රහය දැක්විය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිසිය හා යුද හමුදා ඉංජිනේරු බළකාය මේ සඳහා ශ්‍රමයෙන් උපකාර කර ඇත.

ඊට අමතරව මහමෙවුනා උයනේ භෞතික හා පාරිසරික දියුණුව වැඩි දියුණු කිරීම පිණිස රුපියල් ලක්ෂ 80 ක් ලාෆ් ගෑස් ආයතනය වැයකර තිබේ.

ඒ සමඟ ම රුවන්වැලි මහ සෑය හුණු පිරියම් කිරීමට මහජන බැංකුවේ විශ්‍රාමික සේවක ‍පිරිසක් රුපියල් ලක්ෂ 70 ක් පමණ වැයකරන ලද බව රුවන්වැලිසෑය විහාරාධිකාරි පල්ලේගම හේමරතන හිමිපාණෝ පවසති. ඒ සමඟම විදුලි බල මණ්ඩලය අතිරේක විදුලි සංව‍ර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 70 ක් ද ජල සම්පාදන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 50 ක් ද වැයකර ඇතැයි දිසාපතිවරයා කියයි. සිළුමිණ

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles