Thursday, January 9, 2025

අප්‍රේල් මාසය දක්වා කිසිදු විදුලි කප්පාදුවක් නෑ – PUCSL

ලබන අප්‍රේල් මාසය දක්වා විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි එම කොමිසම පවසනවා.

ඒ අනුව කොමිසම විසින් සකස් කර ඇති නව ක්‍රමවේදයට අනුව එලෙස විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව එම කොමිසම සඳහන් කරනවා.

මෙම ක්‍රමවේදය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කරන බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කෙසේ වෙතත් මෙහිදී ජාතික පද්ධතියෙන් විදුලිය ලබාගන්නා මහා පරිමාණ ආයතනවලට සීමා පනවා ඇති බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමාවීම හේතුවෙන් අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම මීට පෙර පැවසුවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ මාසයේ සිට අප්‍රේල් දක්වා විදුලි කප්පාදුවකට ඉල්ලා ඇති යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පුළුල් ලෙස සමාලෝචනය කරන ලදි.

මහජනතාවට පීඩාවක් වන ආකාරයේ විදුලි කප්පාදුවක් වෙනුවට අඛණ්ඩව විදුලිය සැපයීම සදහා ගත හැකි අනිවාර්ය ක්‍රියාපටිපාටියක් සාකච්ඡාවකට ලක් වු අතර එම පියවර අනිවාර්යෙන් ක්‍රියාවට නගන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයට නියම කරන ලදි.

එම අනිවාර්ය ක්‍රියාපටිපාටිය අනුගමනය කර විදුලි කප්පාදුව වැළැක්විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශ්වාසය පල කරයි.

විදුලි කප්පාදුව වැළැක්වීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අද නිකුත් කල අනිවාර්ය ක්‍රියාපටිපාටිය පිළිබදපැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“මහජනතාවට පීඩාවක් වන ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම් නැහැ. අද පැන නැගී ඇති අර්බුදය විසදාගැනීම සදහා අපි ලංකා විදුලි බල මණ්ඩලය විසින් අනිවාර්යෙන් ක්‍රියාත්මක කල යුතු පියවර ගණනාවක් නිකුත් කලා. හෙට සිට ජල බලාගාර වල විදුලි ජනනය සියයට 50කින් අඩුකර දෛනික උපරිම ජනනය ගිගා වොට් පැය 5කට සීමා කල යුතු යි. ඒ් අනුව දෛනිකව ජල බලාගාරවලින් ගිගා වොට් පැය 5ක විදුලියක් පමණයි ජනනය වන්නේ. එවිට ඉදිරි මාස තුන තුලදී පවත්නා ජල ප්‍රමාණය පරිස්සම් කරගෙන වැසි වසින තුරු ජල බලාගාර වල විදුලි ජනනය කළමනාකරණය කළ හැකියි.

දෙවන අනිවාර්ය පියවර වශයෙන් විදුලි ජනකයන්ත්‍ර සතු ආයතන සිය විදුලි පරිභෝජනය සදහා ජනක යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගත යුතු වේ. විදුලි කප්පාදුවක් අවශ්‍ය වුවහොත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කල යුත්තේ විදුලි ජනක යන්ත්‍ර හිමි තොග පාරිභෝගිකයින් ජාතික පද්ධතියෙන් ඉවත් කිරීම. ඒ් මගින් මෙගා වොට් 300ක පමණ විදුලි ඉල්ලුම සපුරාගෙන ජාතික විදුලි පද්ධතියට ඇති වන මෙගා වොට් 300ක විදුලි ඉල්ලුම අඩු කිරීමට පියවර ගැනීම.  තමන් සතු ජනක යන්ත්‍ර භාවිත කරන ආයතනවලට ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඒ් සදහා ගෙවීමක් ද කෙරෙනවා.

විදුලිය කපන්න සිදුවෙන්නේ බලාගාර සදහා ඉංධන නැතිව ගියහොත් හෝ බලාගාර අක්‍රිය වුව හොත්. අත්‍යවශ්‍ය කරුණකට හැරුණ කොට වෙනත් කිසිදු හේතුවක් නිසා නඩත්තු කටයුතු සදහා බලාගාර පද්ධතියෙන් ඉවත් නොකරන ලෙස අපි ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළා. අවශ්‍ය ඉන්ධන සපයාගැනීම සදහා බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා සමග සාකච්ඡා කලා. එතුමා එකග වුණා. ඉංධන නැවක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට කිසිදු අමතර ගාස්තුවකින් තොරව. ඒ් වගේම ඉංධන ආනයනය සදහා අවශ්‍ය ඩොලර් සපයාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා එකග වී තිබෙනවා. ඒ් අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මත රදා නොසිට විදුලි ජනනය සදහා අවශ්‍ය ඩීසල් ඇතුළු ඉංධන ඝෘජුව ආනයනය සදහා ලංකා විදුලි බල මණ්ඩලයට පහසුකම් සැලසෙනවා. මේ ක්‍රියාමාර්ගයද විදුලි කප්පාදුව වැළැක්වීමට උපකාරි වෙනවා.

ඉහත අනිවාර්ය ක්‍රියාපාටිය අනුගමනය කර මෙම මාස 3න තුලදී අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බවත් ඒ නිසා හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරනවා. හදිසි විදුලිය මිලදී ගැනීම් වලින් තොරව විදුලි සංරක්ෂණය සහ ඉහත අනිවාර්ය ක්‍රියාපටිපාටිය තුලින්මහජනතාවට බරක් නොවී විදුලි අර්බුදය විසදා ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්ථාවරයයි.

වත්මන් විදුලිඅර්බුදය විදුලිය කප්පාදුවකින් තොරව විසඳා ගැනීම සදහා මහජන සහාය මෙන්ම පුද්ගලික හා රාජ්‍ය ආයතනවල සහායදඅත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අවධාරණ කරනවා

මෙවැනි මොහොතක දැඩි සංරක්ෂණ වැඩපිළිවෙලක් මගින් විදුලිනාස්තියඅවමකරවිදුලි කප්පාදුව වැළැක්විමට සහාය විය හැකියි. ඒ් අනුව අපි සියලු පාර්ශ්වයන්ට දැනුම් දීල සංරක්ෂණ වැඩපිළිවෙළට සහාය වෙන්න කියලා. ජනන යන්ත්‍ර සතු නිවාසසංකීර්ණ වල වායු සමීකරණ අවශ්‍යතා සදහා ජනක යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගත යුතුයි. ඒ් වගේම සියළු රාජ්‍ය ආයතන පස්වරු 2.30ත් 4.30ත් අතර කාලයේදී වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කර අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා සහාය විය හැකිය. වීථි ලාම්පු දැල්වීම 80%කින් අඩුකිරීම සදහා පලාත් පාලන ආයතන සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පියවර ගත යුතුයි. ඒ් වගේම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාගැනීම සදහා මහජනතාවද විදුලි සංරක්ෂණ වැඩසටහන හරහා උපරිම වශයෙන් දායක විය යුතු ය.

බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඛණ්ඩව ලැබීම, බලාගාර බිද නොවැටීම වැනි උපකල්පන මත පිහිටා ඉදිරි විදුලි සැපයුම පිළිබද නිගමන වලට එළඹ තිබේ. ඉදිරියේදී මෙගා වොට් 200කට වැඩි ධාරිතාවයක් පද්ධතියෙන් ඉවත් වුවහොත් පමණක් විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවයක් පැන නගින බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම කප්පාදුව ආසන්න වශයෙන් දිනකට පැයක් පමණ වේ. පද්ධතියෙන් ඉවත්වන ධාරිතා ප්‍රමාණය මෙගාවොට් 300ක් වන විටදී දෛනික විදුලි කප්පාදු පැය 1ක හමාරක් පමණ වන අතර දෛනිකව මෙගා වොට් 400කට වැඩි ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වුවහොත් දෛනිකව පැය 2 හමාරක පමණ කප්පාදුවක් කල යුතු වේ. එහෙත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට කර ඇති නියෝග දැඩිව පිලිපැදීම හා දැඩි සංරක්ෂණ ක්‍රියාමාර්ග මගින් එවැනි විදුලි කප්පාදුවක් වැළැක්විය හැකිය.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles