Saturday, September 21, 2024

අපි කන කෑම ගැන පැතිරුන බොරු 08 ක් ..

අපිනිතර ගන්නා කෑම බීම සහ ඒවා ගත යුතු ආකාරයන් ගැන විවිධ මත පළවෙනවා. සමහර කෑම කෑවම ලෙඩ වෙනවා කියල කියනවා. තවත් සමහර දේවල් ආහාරයට ගත යුතු වෙලාවල් සහ ප්‍රමාණයන් ගැන නොයෙකුත් මත තියනවා. අපිත් පුරුදු වෙලා ඉන්නෙ කටින් කට පැතිරිලා එන මේ දේවල් විශ්වාස කරල ඒකට අනුව අපේ පුරුදු හැඩගස්වා ගන්න.

හැබැයි එහෙම කරන එක හොඳද? පොඩ්ඩක් හොයල බලලම තීරණය කලොත් නරකද?

නරක නෑ නේද?

ඔන්න ඒ හින්දා අපේ අනිවා හිතවතුන් වෙනුවෙන් අපි මේ ගෙනඑන්නේ අපේ ආහාර සහ ආහාර පුරුදු ගැන පැතිරිලා තියන විවිධ මත වල විද්‍යාත්මක පැත්තයි. තමනුත් මේ මත වලට රැවටිලා හිටියද කියල කියවලම තීරණය කරන්න.

1. දවසකට වතුර වීදුරු අටක්වත් බොන්න ඕනෙ

Source – gifbin.com

ජලය කියන්නෙ අපේ පැවැත්මට අත්‍යාවශ්‍යම සාධකයක්.  සෛල පෝෂණය කිරීම, ශරීරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත්කිරීම වගේම ශරීරය විජලනය වීමෙන් වලක්වගන්නත් ජලය අපිට උපයෝගී වෙනවා.

එසේ වුවත් දවසකට වතුර වීදුරු 8ක් බොන්න කියන කතාව කිසිම විද්‍යාත්මක සනාථ කිරීමකින් යුතුව සිදු කරන ලද ප්‍රකාශයක් නොවෙයි.

දිනකට පිරිමි අයෙකුගේ ශරීරයට දියර ලීටර 3ක පමණත් කාන්තාවකට නම් ලීටර 2.2ක් පමණත් සුදුසු බවයි කියැවෙන්නේ. මේ ප්‍රමාණය අනෙකුත් ආකාර වලින්ද අපේ සිරුරට ලැබෙන නිසා වතුර බීම මගින්ම ලබාගත යුතු වන්නේ නෑ. අපි මෙතනදී සැලකිය යුතු කාරණය වන්නේ අපි ගන්නා ආහාර, තේ, කෝපි වැනි අනෙකුත් පාන වර්ග වලිනුත් ශරීරයට දියර (liquids) එකතුවන බවයි.

ජලය සහ අනෙකුත් දියර ලබාගැනීමෙදී සැළකිලිමත් විය යුතු තවත් කාරණයක් වන්නේ ඔබ දිනකට මුත්‍රා කරන වාර ගණනයි. ඔබ පැය 24ක් තුළ 4-5 වතාවකට වඩා මුත්‍රා පහකරනවානම්සමහර විට ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කරනවා විය හැකියි. මුත්‍රාශය සම්බන්ධ වෙනත්  රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැතිනම් ඔබ ගන්නා ජලය ප්‍රමාණය ගැන අවබෝධයක් ලබාගැනීමට ඒ මගින්ද පුලුවන් වෙනවා.

කෙසේ වෙතත් අපේ ශරීරයට වඩාත්ම හිතකර දියරය වන්නේ ජලය නිසා ජලය වීදුරු 8ක් පානය කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. අපි සඳහන් කරන්නේ ජලය වීදුරු අටක් කියන ප්‍රකාශය විද්‍යානුකූලව ඔප්පු කරන ලද ප්‍රකාශයක් නොවන බවයි.

2. පිරිමි අයට අලුකෙසෙල් හොඳ නැහැ

Source – tropickit.com

අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ පාර්ශ්වයේ ලිංගික ශක්තිය හීන වෙනව කියන එක අපේ සමාජයේ මුල් බැසගත් අදහසක්. කෙසේ නමුත් අලුකෙසෙල් කෑමෙන් එවැනි තත්ත්වයකට ගොදුරු වෙනවායැයි මෙතෙක් කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් ඔප්පු වී නැති බවකියන්න ඕනෙ. ඇත්තටම අලුකෙසෙල් කියන්නෙ මල බද්ධය, අර්ශස් රෝගය, බඩේ දැවිල්ල ආදී ලෙඩ රෝග බොහොමයකටම ගුණ දෙන ආහාරයක්.

3. බිත්තර කෑවොත් කොලෙස්ටරෝල්, හාට් ඇටෑක් ෂුවර්

Source – healthstatus.com

බිත්තරවල කොලෙස්ටරෝල් වැඩි නිසා හුඟක් අය බිත්තර කන්න පොඩි බයක් දක්වනවා. නමුත් ඇත්ත තත්ත්වයනම් බිත්තර වල ඇති කොලෙස්ටරෝල් නිසා ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම හෝ අහිතකර කොලෙස්ටරෝල් (LDL)  මට්ටම අණතුරුදායක ලෙස ඉහල යන්නේ නැහැයි කියන එකයි. ඔමෙගා 3 මේද අම්ල, ප්‍රෝටීන් සහ විටමින් වර්ග රැසක්ද අඩංගු පෝෂ්‍යජනක ආහාරයක් නිසා සාමාන්‍ය පුද්ගලයෙක් සතියකට බිත්තර 6ක පමණ ආහාරයට ගැනීමේ වරදක් නැති බවයි කියවෙන්නෙ.

හැබැයි ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් හෝ ඔබේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනීමට අසීරු අයෙක් නම් බිත්තර කෑමෙන් වැළකී සිටීම වඩාත් ගුණදායක වනවා.

4. Organic එළවලු පළතුරු තමා හොඳම

Source – hercampus.com

Organic කියන්නෙ දැන් ඉතාම ජනප්‍රිය වචනයක්. අපේ හුඟක් සුපිරි වෙළඳසල් වලත් මේ Organic එළවලු පළතුරු මිලදීගන්න තියනවා අපි දැකල තියනවා. පරිසරයට හිතකාමී විදිහට ස්වභාවික පොහොර වර්ග යොදමින් සාදන මේ එළවලු පළතුරු වල විෂ අඩුයි කියල බැලූ බැල්මට ඔනෙ කෙනෙකුට හිතෙන්න පුලුවන්.

කොහොම වෙතත් මේතාක් දුර පර්යේෂණ වලදී මේ අදහස සනාථ කෙරෙන විදිහේ ප්‍රබල සාධක කිසිවක්හමුවෙලා නැති බවයි පැවසෙන්නේ. Organic ආහාර සාමාන්‍ය ආහාර වලට වඩා කියන තරම්ම ගුණදායකද කියන එක ගැන දැනගන්න කාලයක් ගතවෙන්න ඉඩ තිබෙනවා.

5. ඕනෑවට වඩා රෑ වෙලා කාපුවහම ඇඟ මහත් වෙනව

Source – huffingtonpost.com

නිදාගන්න ළං වෙලා හරි ටිකක් රෑ වෙලා හරි කෑවහම මහත් වෙනවා කියන එක බොහොම ජනප්‍රිය කතාවක්. ගොඩක් අය මේ කියමන විශ්වාස කලාට අපි කෑම ගන්නා වෙලාව සහ ශරීරයේ බර වැඩිවීම අතර කිසිම සම්බන්ධයක් නැති බවයි පැවසෙන්නේ. නින්දේදී පවා අපේ කැළරි දහනය වන නිසා රෑ කෑම ප්‍රමාදවී කෑ පළියට ඇඟ මහත්වීමට බලපාන්නේ නැහැ.

කෑම ගන්නා වෙලාවට වඩා ඔබ සැළකිළිමත් විය යුත්තේ ඔබ කන රාත්‍රී ආහාර ප්‍රමාණය සහ රාත්‍රියට ඔබ කිහිප වතාවක්ම ආහාර ගන්නවාද කියන එකයි. එවැනි කරුණු නම් බර වැඩිවීමට බෙහෙවින් බලපෑ හැකියි.

6. ලොකු වේල් තුනක් කනව වෙනුවට පොඩි වේල් හයක් කෑවහම බර අඩුවෙනව

Source – dentistryiq.com

සමහර වෛද්‍යවරු පවා මේ විදිහට කුඩා කෑම වේල් පහ හයක් ආහාරයට ගන්න කියනව අපි දැකල තියනව. ඒ මගින් අපේ බඩගින්නත් නිවිල, කැලරිත් වැඩිපුර දහනය වෙලා රුධිරයේ සීනිත් පාලනය වෙනව කියල තමයි කියන්නෙ.

හැබැයි එහෙම කිවුවට මෑතකදී කරන ලද පර්යේෂණයකට අනුව මේ ක්‍රමය සාර්ථක නැති බවක් තමයි පැවසෙන්නේ. පොඩි පොඩි කෑම වේල් කෑම මගින් මිනිස්සු ගන්නා ආහාර ප්‍රමාණය අඩු වෙනවා වෙනුවට ඔවුන් නොදැනුවත්වම වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමට පෙළඹෙන බවකුයි නිගමනය වෙලා තිබෙන්නෙ.

7. කැරට් අමුවෙන් කන තරමට ගුණ වැඩියි

Source – tumblr.com

අපි සලාද හැටියට, ජූස් හැටියට නිතර කැරට් පානය කරනවා. හුඟක් එළවලු අමුවෙන් කන තරමට ගුණය වැඩි නිසා කැරටුත් එහෙම වෙයි කියලයි අපි හිතන්නෙ. ඒ උනාට ඇත්තටම ගත්තොත් කැරට් ඒකෙ අනිත් පැත්ත.

අමුවෙන් කනවට වඩා උයල කද්දි කැරට් වලින් ලැබෙන පෝෂණ ගුණය වැඩි වෙනව. ඉවීමේදී කැරට් වල ඇති බෙටකැරටින් (Betacarotene) විටමින් A බවට පත්වෙනවා. මෙය ඇස් සහ අස්ථි වලට ඉතාම ගුණදායක බවයි පැවසෙන්නේ.

8. දිනපතා කෝපි බීම ඇඟට එච්චර ගුණ නෑ

Source – giphy.com

ඉඳල හිටල කෝපි එකක් බීම ඇරුණහම නිතර කෝපි බිවුවොත් ඒක ඇඟට හොඳ  නැහැයි කියල කියන සමහරු ඉන්නවා. සමහරු කියනවා කෝපි බීමෙන් අස්ථි දිරායනව කියල. මෙහෙම කිවුවට මෙතෙක් කර ඇති කිසිම පරීක්ෂණයකින් ඒ බව සනාථ කරන්න තරම් තොරතුරු සොයාගෙන නැහැ. දවසකට කෝපි කෝප්ප තුනක් පමණ පානය කිරීමේ කිසිම වැරැද්දක් නැති බව තමයි පැවසෙන්නේ.  ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය සහ මොලයේ ක්‍රියාකාරීත්වයට ගුණදායක මෙන්ම පාකින්සන්,ඇල්සයිමර් වගේ දරුණුලෙඩ රෝග වැළැක්වීමටත් කෝපි පානය ඉවහල් වන බවයි පැවසෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles