Thursday, January 23, 2025

යුගදනවි දීම නෙවෙයි ප්‍රශ්නෙ – රටට අවාසි කිසිදු ගිවිසුමකට මම අත්සන් කරන්නෙ නෑ…! – අපි ආණ්ඩුව ඇතුළේ ඉන්නේ ගෙදර ඉන්න බල්ලා වගේ ගමිමන්පිල

ශ‍්‍රී ලංකාවට අවාසිදායක ගිවිසුමකට තමා නම් අත්සන් නොකරන බව ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් ඇමැතිවරයා ලෙස තමන් අත්සන් නොතබන බවත් හෙතෙම කීවේය.

බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (29 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 වසර දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ‍්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට බාධාවක් වන බවය.

එහිදී ඇමැතිවරයා මෙසේද ප‍්‍රකාශ කර සිටියේය.

“නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගමට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 සිට වසර පහකට. ඒ කියන්නේ 2023 – 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග වෙද්දි වෙන්දේසිය පැවැත්වුවහොත් එතැන සිට වසර 3ක දී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 සිට ගත්තොත් 2025 සිට අපිට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ‍්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් ලෙස බලශක්ති ඇමැතිවරයා ලෙස මම දකිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වුණ සෑම අවස්ථාවකදීම අපේ අමාත්‍යාංශයට එය බලපාන ආකාරය පිළිබඳ අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙන්නේ. අපිට ප‍්‍රශ්නේ තියෙන්නේ යුගදනවි බලාගාරයේ සියයට 40ක් නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගමට දීම නෙමෙයි. ශ‍්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර 5 කට අමෙරිකානු සමාගමකට හිමිවීම, ඒ වගේම ටෙන්ඩරයක් ක‍්‍රියාත්මක වෙමින් තිබිය දී ගෑස් විෂය ගැන දන්න අය ඉන්නේ අපේ අමාත්‍යාංශයේ. නමුත් ගිවිසුම්වලට එළඹුණු කිසිම කමිටුවක අපේ අමාත්‍යාංශ නියෝජිතයෝ සිටියේ නෑ. අපි අමාත්‍යාංශය පැත්තෙන් විෂය දන්න අය හැටියට මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබාදීලා තියෙනවා. තව නිරීක්ෂණයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නෑ ගෑස් ගිවිසුම කොච්චර කල් සාකච්ඡා කරා ද කියලා. දවසින් දෙකින් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් වෙනවා. ඔවුන් කොන්දේසි ඉදිරිපත් කරනවා, අපි එකඟ වෙනවා, ගිවිසුම ගහනවා. අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ නෑ.”

“මම ලස්සන කතාවක් කියන්නම්. ආණ්ඩුව ඇතුළෙ අපි හැසිරෙන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ. ගෙදරට අනතුරක් වෙන්න යනකොට තමයි බල්ලා බුරන්නෙ. එතකොට බල්ලා බුරද්දී බුරන දිසාව බලලා අනතුර හඳුනාගන්නවා වෙනුවට බල්ලාව පන්නලා දැම්මොත් ගෙදර කට්ටියගෙ අවසානෙ තමා සිද්ධ වෙන්නෙ. ඒ නිසා මම හිතන්නෙ අපි රටට ආදරේ නිසා, ආණ්ඩුවට ආදරේ නිසා ආණ්ඩුවෙන් වරදක් වෙන්න යනකොට අපි හඬනගනවා”

දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles