Saturday, September 21, 2024

අමාත්‍ය බන්දුලගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

මුහුණු ආවරණ අළෙවිය තුළින් වෙළෙඳ අමාත්‍යවරයා රු.2ක් බැගින් අල්ලස් ලබාගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයෙහි සභාපති රංජිත් විතානගේ විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිදු කරන ලද පැමිණිල්ල කඩිනමින් විභාග කරන ලෙස වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද දින අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කරන ලදී.

“මුහුණු ආවරණයකින් රුපියල් දෙකක අල්ලසක් ලබා ගත්තා යැයි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබෙනවා. එය ද්වේෂසහගත, අමූලික අසත්‍ය, වෛරී චේතනාවෙන් කරන ලද පැමිණිල්ලක් වශයෙන් පෙන්වා දිය හැකී.

මක්නිසාද යත් මේ රටේ සුවහසක් දරුවන්ගේ අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන්, මම ලාංකේය නිදහස් අධ්‍යාපනයේ හැඩතලය වෙනස් කරමින් තාක්ෂණවේදය විෂය හඳුන්වා දුන්නා. මෙම තාක්ෂණවේදය විෂය හදාරන උසස්පෙළ දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා මාගේ පසුගිය උපන්දිනය දාමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ සියයක් යොදවමින්ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති නිල සමාරම්භක උත්සවයේදී”ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල” ආරම්භ කළා.

මෙම ශිෂ්‍යත්ව අරමුදල, මාගේ ඥාතීන් හා අපේ හිතවතුන් විසින් දැක්වූ දායකත්වය මත මේ වන විට ලක්ෂ දෙසීයකට ආසන්න වී තිබෙනවා. එවන් තත්වයක් තුළදී මුහුණු ආවරණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැර වෙලා නෑ. එසේ තිබියදී ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිදු කර ඇති අපහාසය මට පමණක් නෙවෙයි, මේ අරමුදලේ භාරකරුවන්ට සහ මේ අරමුදලෙන් ප්‍රතිලාභ ලබන්නට සිටින ශිෂ්‍යයන්ටත් සිදු කර ඇති නින්දාවක් වශයෙන් පෙන්වා දිය හැකී.

මේ නිසා අපක්ෂපාතී හා සාධාරණ ලෙස කඩිනමින් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස ඉල්ලමින් මම අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දුන්නා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමාට දිගින් දිගටම යම් යම් චෝදනා එල්ල වීමට මූලිකම හේතුව වී ඇත්තේ පසුගිය කාලය පුරාවටම සිදුව ඇති වංචා දූෂණ, අක්‍රමිකතා, සොරකම් පිළිබඳව පූර්ණ පරීක්ෂණ සිදු කරමින් එවැනි දේ වැළැක්වීමට කටයුතු කිරීම වන බවයි.

එමෙන්ම, සොරුන් ඇල්ලීමට යන පුද්ගලයින්ව, සොරුන් යැයි නම් කිරීමට එකී වංචාකරුවන් කටයුතු කිරීම තුළ මෙවැනි තත්වයක් ඇති වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් අදාළ චෝදනා හා අක්‍රමිකතා පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණ සිදු කර එම වංචාකරුවන් හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ද සඳහන් කළ අමාත්‍යවරයා වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කිරීමේදී ඇති වන මෙවැනි අභියෝග වලින් කිසිසේත් අධෛර්යමත් නොවන බවත්, එමෙන්ම කුමන අභියෝග පැමිණියද තවදුරටත් එවැනි අක්‍රමිකතා සිදුවීමට ඉඩ ලබා නොදෙන බවත් අවධාරණය කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles