ලංකාවේ නිෂ්පාදනය කරන්නට නොහැකි දේ පමණක් ආනයනය කිරීම සඳහා සහනයක් ලබා දෙන්න
මේ නරක කාලය අපි ආශීර්වාදයක් කරගත්තා. ආනයනය තහනම් කළ පසුයි අපිත් වගාවට යොමු වුණේ
පසුගිය දා ඉදිරිපත් කරන ලද 2021 වසර සඳහා වූ රාජ්‍ය අයවැය අගමැතිවරයා හඳුන්වා දෙන ලද්දේ, ‘ කඩා වැටුණු ආර්ථිකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අය වැයක් සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘සෞභාග්‍යයේ දැක්ම…’ යථාර්ථයක් කරමින් සර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කළ අයවැයක් ‘ ලෙසිනි.
එසේ ඉදිරිපත් කරන ලද අයවැය ප්‍රතිපත්ති, මෙරට ප්‍රධාන ධාරාවේ ව්‍යාපාර සමාගම් වෙත ඇති කරන්නා වූ බලපෑම පිළිබඳ, එම සමාගම් ප්‍රධානීන් කිහිපදෙනකු සමඟ කතාබහ කළෙමු.
2021 රාජ්‍ය අයවැයෙන් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳ, කොමර්ෂල් බැංකුවේ සභාපති සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති, ධර්ම ධීරසිංහ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ප්‍රධානම කාරණාව මෙය, අය සහ වැය පිළිබඳ ලේඛනයක් පමණක් නෙවෙයි. මෙය, අය සහ වැය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයක්. එනම්, ඉදිරි වර්ෂයට අදාළ මධ්‍ය හා දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කෙරෙන ප්‍රකාශයක්. ඒ අනුව මෙහි වියදම්,පුනරාවර්තන සහ ප්‍රාග්ධනය ලෙස සලකා දෙයාකාරයකින් ඉදිරිපත් කර තිබෙනවා.
වැදගත්ම දේ, අය සහ වැය ක්‍රියාත්මක වන්නේ බැංකු පද්ධති හරහා වීමයි. උදාහරණයක් ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව වැනි රජයේ සියලු ආයතන ඒ අයගේ ආදායම ගෙවන්නෙත් බැංකුවලට. ඒ ආයතනවලින් කෙරෙන වියදම් ගෙවන්නෙත් බැංකු හරහා. ඒ කියන්නේ රජයේ මේ සියලු අය සහ වැය බැංකු පද්ධතියේ ගබඩා වෙනවා.
වියදම පැත්තෙන් බැලුවොත්, මෙරට ආර්ථික සංවර්ධනයට අදාළව සිදුකෙරෙන මහා මාර්ග, නිවාස, වරාය, ගුවන්තොටුපළ වැනි ඕනෑම ක්ෂේත්‍රයක ඉදිකිරීම් උදෙසා, ඉදිකිරීම්කරුවන්ට ගෙවීම් සිදු කරන්නෙත් බැංකු පද්ධතිය හරහායි. එයින් කියැවෙන්නේ, රාජ්‍ය මූල්‍ය කටයුතුවල අතරමැදි සේවාව සිදු කරන්නේ, බැංකු පද්ධතිය විසින් පමණක් බවයි.
මේ අයවැය ප්‍රකාශයේ තිබෙනවා,මෙතෙක් 4-5% අතර තිබූ අයවැය හිඟය,10- 11% ක් බවට පත් වෙයි කියා.එවිට රජයට සිද්ධ වෙනවා, මේ අයවැය හිඟය පියවා ගන්නට, අලුත් ආදායම් මාර්ග සොයා ගන්නට. එහෙම නැත්නම් රජයට සිද්ධ වෙනවා, දේශීයව සහ විදේශීයව ණයට මුදල් ලබා ගන්නට.
රජය දේශීයව ණය ලබා ගන්නේ, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්. විදේශීයව ණය ලබාගන්නේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, විදේශ වාණිජ ණය වෙළෙඳපොළ හෝ සෘජුවම චීනය, ජපානය වැනි රටවලින්.
ඔය කොයි ආකාරයකින් ණය ලබා ගත්තත්, ඒවා ක්‍රියාත්මක වෙන්නේ බැංකු පද්ධතිය හරහා යි. උදාහරණ ලෙස, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සතිපතා සිදු වනවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමත් වරින් වර සිදු වනවා. ඒ වෙන්දේසිවලට ලංසු ඉදිරිපත් කරන්නේ බැංකු පද්ධතිය හරහා යි.
ඒ වගේම, මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වැඩිපුරම මිලදී ගන්නේ, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විසින්. ඒ හැරුණු කොට, බැංකුව සහ රක්ෂණ සමාගම් විසිනුත් යම් ප්‍රමාණයක් මිලදී ගෙන රජයට ණය පහසුකම් සපයනු ලබනවා. ඒ අනුව, මේ අයවැයෙන් ප්‍රකාශ කරන ලද පරිදි, අයවැය හිඟය පියවා ගැනීමට, විදේශයන්ගෙන් ණය ගැනීම් ඉදිරියේදී අඩු කිරීමට සහ දේශීයව ණය ගැනීම් වැඩි කිරීමට රජය ගත් තීරණය ඉතාමත් වැදගත් එකක්. එය, සමස්ත බැංකු පද්ධතියට ම ඉතාමත් සාධනීය ව බලපාන කාරණාවක්.
ඒ වගේම, මෙවර අයවැයෙන් දේශීය කර්මාන්ත නංවාලීම සඳහා ප්‍රතිපත්ති සමූහයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත් දෙයක් තමයි, 4% පොලියට මහබැංකු ප්‍රතිමූල්‍ය ණය ක්‍රමය හරහා දේශීය කර්මාන්ත වෙත අඩු පොලියට ණය ලබා දීම. දේශීය කර්මාන්ත නංවාලීම ඔස්සේ, රටේ ආර්ථික සංවර්ධනයට දායක වීමට මෙවර අය වැයෙන් බැංකු පද්ධතියට වැඩි වැඩියෙන් අවස්ථාව උදාවන්නේ ඔන්න ඔය ආකාරයටයි…”
මෙවර අය-වැය, ශ්‍රී ලාංකේය ඉදිකිරීම් කර්මාන්තයට කර ඇති බලපෑම පිළිබඳ ‘මාගා ඉංජිනියරින්” සභාපති, කපිතාන් එම්. ජී. කුලරත්න දැක්වූයේ මෙවැනි අදහසකි.
“නාගරික පුනර්ජීවන වැඩසටහන් යටතේ නිවාස සංකීර්ණ, පාලම්, මහා මාර්ග, රෝහල් වැනි දැවැන්ත නාගරික ව්‍යාපෘති සහ ඉදිකිරීම් කර්මාන්තයට අදාළ රජයේ ඕනෑම ඉදිකිරීමක් සඳහා, බාහිර ආයතනවලට වැඩ සැපයීම සිදු වන්නේ රජයෙන්.
රජය අත ගසා තිබෙන මෙම අලුත් ව්‍යාපෘති වගේම, ග්‍රාමීය ප්‍රදේශවලට අදාළව කිලෝමීටර ලක්ෂයක මහා මාර්ග පද්ධතියක් සකස් කිරීම සහ ලංකාවේ පානීය ජලය අහිමි ප්‍රදේශවලට ජලය සැපයීම සහ පිරිපහදු කිරීමේ ව්‍යාපෘති සඳහා, කිලෝමීටර් 40,000ක ප්‍රමාණයක ජල නළ එළීමේ ව්‍යාපෘතියත් සිදුකිරීමට නියමිතයි. මේවායේ වටිනාකම රුපියල් බිලියන 700 ක් යැයි ගණන් බලා තිබෙනවා. වැදගත්ම දේ, මේ රුපියල් බිලියන 700 ක් වටිනා සියලු ව්‍යාපෘති දේශීය කොන්ත්‍රාත් සමාගම් වෙත පමණක් ලබා දෙන බව මේ අයවැයෙන් ප්‍රකාශකොට තිබීමයි.
කොරෝනා වසංගතයෙන් ඇද වැටුණු සමස්ත ආර්ථිකයේ කොටසක් වන ඉදිකිරීම් කර්මාන්තයට යළි පණ ලබාදෙන මෙම තීන්දුව, මෙවර අය-වැය තුළ දේශීය ඉදිකිරීම් කර්මාන්තය සහ කර්මාන්තකරුවා රැක ගැනීමට ගෙන ඇති දැවැන්ත පියවරක් ලෙසයි අප දකින්නේ.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ව්‍යාපෘති විහිදී තිබෙන නිසා, රට පුරා සිටින ඉදිකිරීම් සමාගම් වෙත මේ අවස්ථාවන් බෙදී යනවා. ඒ නිසා ඉදිරියේදී රජය, ඔවුන්ගේම ආයෝජනවලට හැරෙන්න චීන සහ ඉන්දියානු සමාගම්වලට අපේ රටේ ඉදිකිරීම් සඳහා අවස්ථා ලබා දෙන්නේ නැහැ.
ඒ වගේම, රජය දී තිබෙන නව බදු සහන නිසා ඉදිකිරීම් කර්මාන්තයට වගේම මේ රටේ සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශාල ධෛර්යයක් ලැබී තිබෙනවා. කඩා වැටුණු ආර්ථික තත්ත්වයක් තුළ වුවත්, දැන් කර්මාන්තයක් ලෙස සැලසුම් සහගතව ඉදිරියට යන්නට දේශීය ඉදිකිරීම් කර්මාන්තකරුවාට හැකියි. වරින් වර වෙනස් නොවන එම නව ස්ථාවර බදු ප්‍රතිපත්තිය නිසා, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව්‍යාපාර සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අප වැනි දැවැන්ත සමාගම්වලට විශාල පහසුවක් ලැබී තිබෙනවා…”
නවීන තාක්ෂණයෙන් යුතු ගෘහ අලංකරණ සහ දැව ආලේපන පිළිබද මහා පරිමාණ නිෂ්පාදන සමාගමක් වන, ජැට් හෝල්ඩින්ග්ස් වෙත, මෙවර අයවැයෙන් සිදුව ඇති බලපෑම, එහි සභාපති ඊලියන් ගුණවර්ධන මහතා පැවසූයේ මෙලෙසිනි.
“කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රවිෂ්ට වන සමාගම් සඳහා ආදායම් බදු අඩු කර තිබීම ක්ෂේත්‍රයට වාසියක්. නමුත් අප නියැළී සිටින්නේ සුපිරි නිවාස සංකීර්ණ සහ නිවාස සඳහා ජාත්‍යන්තර තලයේ මුළුතැන් ගෙවල් ආනයනය, දැව සහ නිවාස ආලේපන සඳහා නවීන තාක්ෂණය මුසු කිරිමේ සහ හඳුන්වා දීමේ මහා පරිමාණ කර්මාන්තයකයි.
දේශීය කර්මාන්තයක නියැළෙන අතරම, ලෝ ප්‍රකට Branded kitchen මෙරටට ගෙන්වන සමාගමක් ලෙස, මේ අය වැයෙන් අපට පැන නැඟුණු යම් යම් ගැටලුකාරී අවස්ථා තිබෙනවා.
ලංකාවේ 5%ක් හෝ 10%ක් ඉතා හොඳින් වියදම් කිරීමට හැකි අය සිටිනවා. ඒ අය තමන්ගේ සුපිරි නිවාස සඳහා, Branded kitchen එකක් හදා ගන්න කැමතියි. නමුත්, රජය ආනයනය පනවා ඇති මේ දැඩි නීති නිසා, හැකියාව සහ මුදල් තිබුණත් ඒ අවශ්‍යතාව ඉටුකර ගන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ.
දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දී තිබෙන සහන නිසා ලංකාවේ මොන තරම් සුපිරි නිවාස සංකීර්ණ ඉදිවෙමින් පවතිනවා ද… එවිට පැන නඟින පාරිභෝගික අවශ්‍යතා අනුව, ඒ ඉල්ලීම් ඉටු කරන්නේ කෙසේද… අලුතින් ඉදිවන තරු පහේ හෝටල් සහ ‘පෝට් සිටි’ වැනි නවීන නගර ව්‍යාපෘතිවලදී මතු වන, ලෝ ප්‍රකට සන්නාමවලින් යුතු ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙවල් සහ පෑන්ට්‍රි… වැනි අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේද…මෙවැනි නිවාස මිලදී ගන්නා පුද්ගලයන් එවැනි නවීන තාක්ෂණයෙන් යුතු අංගෝපාංග බලාපොරොත්තු වෙනවා. ලංකාවේ එවැනි දෑ නිර්මාණය කරනවා නම්, ඒ සඳහා අදාළ නවීන තාක්ෂණය සහ දැනුම තිබෙනවාද… අඩුම කරමින්, සංසන්දනය කිරීමෙන් දැනුම ලබා ගැනීමටවත් හැකි දේ මේ රටේ තිබිය යුතුයි.
අනෙක් කාරණාව තමයි, රජයේ මැදිහත්වීමෙන් ඉදි කළ ෂැංග්‍රි-ලා වැනි දැවැන්ත ව්‍යාපෘති කෙරෙහි විශ්වාසය තබා, අප කළ ආයෝජන. ෂැංග්‍රි-ලා shopping mall එක හැදුවෙත්, රජයේ මැදිහත් වීමෙන්මයි. ඒ shopping mall වලට එන්නේ යම් කිසි වියදමක් දරන්න පුළුවන් ඉහළ පැළැන්තියේ අය සහ විදේශිකයන්. ඉතින් මේ අය ඒ වගේ තැනකට යන්නේ, branded දෙයක් මිලදී ගන්න. රජය පනවා ඇති ආනයන තහනම නිසා දැන් මාස හය හතක් තිස්සේ, එහි ඇති අපගේ ප්‍රදර්ශනාගාරය හිස් වෙලා. අපි මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාටත් ලිපියක් මගින් දැන්වූවා. එතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් එනතුරු, අපි බලාපොරොත්තු සහගතව සිටිනවා.
අනික තමයි, අපේ දැව ආලේපන කර්මාන්තයට අදාළ වෝටර් බේස් රෙසින් වර්ගයක්, ලංකාවේ කිසිසේත් නිපදවීමට බැරි නිසා, පිටරටින් ගෙන්වනවා. එයට මෙතෙක් පනවා තිබුණේ, 25%ක සෙස් බද්දක්. නව අයවැයෙන් එය 35% දක්වා ඉහළ දමලා. එය දරාගත හැකි තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම, ලංකාවේ වඩු කර්මාන්තය ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි බොහෝ දෑ, අප ගෙන්වූ ජර්මන් තාක්ෂණයෙන් යුතු pantry සහ kitchen වල තිබුණා. කොහොම වුණත්, මහා පරිමාණයෙන් ව්‍යාපාර සහ කර්මාන්තයක යෙදී සිටින අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, ලංකාවේ නිෂ්පාදනය කරන්නට නොහැකි දේ පමණක් ආනයනය කිරීම සඳහා සහනයක් ලබා දෙන්න කියායි. මෙවර අයවැයෙන් අපේක්ෂිත ආර්ථික වර්ධනය ලබා ගැනීමට නම්, අප වැනි ව්‍යාපාර පසු බැසීමට ඉඩ නොදී, අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා…”
මෙවර අයවැය, සිය ව්‍යාපාර වෙත කර ඇති බලපෑම පිළිබඳ, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සිල්ලර වෙළෙඳ අංශයේ සභාපති, චරිත සුබසිංහ දැක්වූයේ මෙවැනි අදහසකි.
“රටේ ප්‍රධාන ආදායම් මාර්ග ඇහිරී, රට ආර්ථික පසුබෑමකට ලක්ව ඇති මෙවැනි මොහොතක, අයවැයක් ඉදිරිපත් කිරීම පවා රජයකට අපහසු කාර්යයක්. නමුත්, එවැනි අපහසුතා මධ්‍යයේ වුවත් මෙවර ඉදිරිපත් වූ අයවැයෙන්, ඉතා වැදගත් කාරණා හතරක් ඉස්මතුව තිබෙනවා.
අංක එක තමයි, මේ වසර පහටම එක බදු ප්‍රතිපත්තියක් පැනවීම.
අපි මෙතෙක් අලුත් ආයෝජනවලට අතගැහුවේ දෙගිඩියාවෙන්. රටේ ආර්ථික ක්‍රියාවලියේ එක බදු ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. වරින් වර වෙනස් වන බදු ප්‍රතිපත්ති තිබෙන රටවල් සඳහා හොඳ විදෙස් ආයෝජකයන් සිය ආයෝජන කරන්නට ඉදිරිපත් වන්නේ නැහැ. එය අපිට තිබූ බරපතළ ගැටලුවක්. මෙවර අයවැයෙන් ඉදිරි වසර හතර යන කල් බදු ප්‍රතිපත්තීන් වෙනස් වෙන්නේ නැහැ, කියන තීන්දුවට පැමිණීම පිළිබඳ අපි වගේ සමාගම් විශාල ලෙස සෑහීමට පත්වනවා. එම තීන්දුව වඩාත් වටින්නේ, මෙවැනි අස්ථාවර ආර්ථික පසුබිමක් තිබියදී ගත් හොඳ සහ දැඩි තීරණයක් වන නිසා.
දෙවැනි කාරණය තමයි, ප්‍රාග්ධන වෙළෙඳපොළ දිරිගැන්වීමට ගෙන ඇති පියවර. දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් කරා යන ගමනේදී මෙම ප්‍රාග්ධන වෙළෙඳපොළ වර්ධනය වීම රටට අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා දිරි ගැන්වීම ඉතාමත් ප්‍රායෝගික අවශ්‍යතාවක්. මෙවර අයවැයෙන් එම අවශ්‍යතාව සඳහා, වැඩි අවස්ථාවක් දී තිබීම ඉතාමත් සතුට දනවන කාරණයක්.
තුන්වැන්න තමයි, පසුගිය වසර කිහිපය තුළ දේපළ වෙළෙදාම් ක්ෂේත්‍රය තුළ, අපිත් ඇතුළුව විවිධ සමාගම් විශාල ආයෝජන සිදු කළා. නමුත් ඒවා විදේශිකයන්ට අලෙවි කර ගැනීමේ දී, යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මතු වුණා.
නමුත් මෙවර අයවැයෙන් විදේශිකයන්ට එම දේපළ මිලදී ගැනීමට ඇති අවස්ථාවන් පුළුල් කොට තිබෙනවා. එය ආයෝජකයන් දිරි ගන්වන සහ ඔවුන්ට විශාල ප්‍රතිලාභ ලබා දෙන හොඳ තීරණයක්. එය අප සමාගමටත් මෙතෙක් බලපෑ විශාල ප්‍රශ්නයක්. මොකද, අප සතුව විශාල ඉඩම් සහ දේපළ බැංකුවක් තිබෙනවා. මේ වන විටත් නව සුපිරි නිවාස සංකීර්ණ සඳහා අප ආයෝජනය කරමින් සිටිනවා. මේ යහපත් වටපිටාව තුළ දැන් අපගේ ව්‍යාපාර සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාත්මක කරන්නට අවස්ථාව උදා වී තිබෙනවා.
හතර වැනි කාරණය තමයි, මෙතෙක් අපේ රටට විදේශ විනිමය වැඩිපුර ලැබුණේ, විදෙස් ගත ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රමිකයන් ඉපැයූ විදේශ විනිමය සහ සංචාරක ව්‍යාපාරයෙන්. නමුත් මෙවර අයවැයෙන් අපනයන ක්ෂේත්‍රයේ යෙදෙන සමාගම් සහ පුද්ගලයන් වෙත, විදේශ විනිමය උත්පාදනය කිරීම් දිරිගැන්වීමට විශාල අවස්ථාවන් උදාකර දී තිබෙනවා.
මේ කාරණා හතර, මේ මොහොතේ රටේ ආර්ථිකය උදෙසා ගත් ඉතා හොඳ ඉදිරි පියවරයන්. සමස්තයක් ලෙස, රට මෙවැනි අසීරු තත්ත්වයක තිබියදී ගත් මේ ප්‍රතිපත්තිමය තීන්දු, ව්‍යාපාර ලෝකයටත් සුබදායී ව සහ ඵලදායී ලෙස බලපානවා…”
මෙරට සංචාරක හෝටල් ක්ෂේත්‍රයට සහ ගුවන් යානා කේටරින් සේවයට අවශ්‍ය ආහාරපාන අමුද්‍රව්‍ය සපයන, ශ්‍රී ලාංකාවේ දැවැන්තම සමාගම වන ‘එඩින්බරෝ’, මෙතෙක් ටොන් ගණනින් ශ්‍රී ලංකාවට ආනයනය කළ ‘කෝන්’ වර්ග හෙවත් බඩ ඉරිඟු ගෙන්වීම සහමුලින්ම නතර කොට, ඒවා මෙරට වවන දැවැන්තම සමාගම බවට ද පත්ව සිටියි.
සංචාරක ව්‍යාපාරය කඩා වැටුණද, මෙවර අය-වැය සිය සමාගමට කර තිබෙන බලපෑම ඉතාමත් සාධනීය බව එහි සභාපති, රවූෆ් පාෂා මොහොමඩ් සල්මි පවසයි.
“එඩින්බරෝ’ කියන්නේ, 100%ක් දේශීය සමාගමක්. අපේ වෙළෙඳපොළ කොටසින් 60%ක්ම තිබුණේ, තරු හෝටල් සහ ගුවන් යානා කේටරින් සේවාව ආශ්‍රිතව. සංචාරක ව්‍යාපාරය කඩා වැටීමත් සමඟ අපේ ප්‍රමුඛතම ආහාරපාන වෙළෙඳපොළ ජාලයත් කඩා වැටුණා. අපි කළේ, දේශීය වෙළෙඳපොළ කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම. ඒ හා සමඟම පූර්ණ වශයෙන් කෘෂිකර්මාන්තය වෙත අවධානය යොමුකොට, ඒ පළමුවැනි කොරෝනා රැල්ලේ දීම අප සතුව තිබූ අක්කර 25ක හිස් ඉඩම තුළ කහ, ඉඟුරු,බේබි කෝන්,ස්වීට් කෝන්, බ්‍රොකලි,කෝලි ෆ්ලවර් සහ අපගේ සෝස් වර්ග නිපදවීමට අවශ්‍ය තක්කාලි, මිරිස් වැනි දෑ වවන්න ගත්තා. මෙවර අයවැය ඉදිරිපත් වන විට, අපි වගාවෙන් සෑහෙන දුර ඇවිත්.
ඇත්තටම, මේ නරක කාලය අපි ආශිර්වාදයක් කර ගත්තා. ආනයනය තහනම් කළ විටයි, අපිත් වගාව කෙරෙහි යොමු වුණේ. වගාවේ අමාරු කාලය පහු වෙලා ඉන්න මොහොතේයි, අයවැයෙන් කෘෂිකර්මයෙන් උපයන දේට ඉදිරි අවුරුදු හතරටම බදු නිදහස් කළේ. ඒ අනුව, මසකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කොට, වියළි මිරිස් ඉන්දියාවෙනුත්, කෝන් වර්ග තායිලන්තයෙන් සහ චීනයෙනුත් ගෙන්වපු අපි දැන්, මහා පරිමාණයෙන් වගා කටයුතුවල නිරත වෙනවා. අපේ අස්වනු එංගලන්තය සහ ජපානයට අපනයනය කරන වැඩපිළිවෙළකුත් සකස් කර අවසන්. කොටින්ම මේ අයවැයේ බදු සහනය අපිට විශාල ආශිර්වාදයක්.
මේ අයවැයෙන් ගොවිජන සේවා පනත සංශෝධනය කිරීම පිළිබඳවත් කථා කළා. එය එසේ වුවහොත්, අප වැනි දේශීය ව්‍යවසායකයන්ට තවත් හොඳ වෙයි. මොකද, අපිටත් තිබෙන ප්‍රශ්නය තමයි, වවන්න ඉඩම් මදිකම. අප වැනි වගාවට කැමැති තවත් ව්‍යවසායකයන් සිටියත්, ඔවුන්ටත් මේ ඉඩම් ප්‍රශ්නය විශාල බාධාවක්. මේ පනත සංශෝධනය වුවහොත්, ඔවුන්ටත් කෘෂිකර්මාන්තයට පිවීමට හැකි වේවි . රටක ආර්ථිකය පවතින්නේ, ඒ රටේ කර්මාන්ත මතයි, කියන යථාර්ථය අවබෝධ කොට ගෙන සෑදූ අයවැයක් ලෙසයි, මා මෙය දකින්නේ…”
මෙවර අය-වැය, මෝටර් රථ කර්මාන්තයට කරන ලද බලපෑම පිළිබඳ අදහස් දැක්වූ, අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති, නලීන් වෙල්ගම මෙසේ පැවසීය.
“2015 අවුරුද්ද වන තෙක් මේ රටට වාහන ගෙන්වූයේ 90%ක්ම, වරලත් නියෝජිතායතන පමණයි. නමුත් යහපාලන ආණ්ඩුවෙන් දුන් අවසරයෙන් 75% පහකට වඩා ‘පැරලල් ඉම්පෝටර්ස්ලා’ විසින් ලංකාවට වාහන ගෙනාවා. ඒකෙන් සිද්ධ වුණේ ඔවුන් පෝෂණය වී අනවශ්‍ය ලෙස වාහන විශාල ප්‍රමාණයකුත් රටට ඇතුළු වීමයි. හිතූ හිතූ විදියට එල්. සී. ඇරලා, පිටරටවලින් වාහන ගෙන්න ගත්තා ඒ ගෙනත් අත ඇරියා විතරයි, ඒවාට අමතර කොටස් වෙළඳපොළක් හැදුවේ නැහැ. අලෙවියෙන් පසු සේවාවක් හැදුවේ නැහැ.
හොඳම උදාහරණය, ලංකාවට නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් කාර් 7,000ක් ගෙනාවා. අද පාරකවත් මේ වාහන දකින්න තියෙනව ද. ඒ සමහර වාහනවලට වොරන්ටියක්වත් නැහැ. ඒකෙන් වුණේ, අමතර කොටස් වෙළෙඳපොළක් නැති ඉලෙක්ට්‍රික් වාහන සහ 660cc කුඩා හයිබ්‍රිඩ් කාණ්ඩයේ, අපේ රටට නොගැළපෙන වාහන විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනැත් අත ඇරපු එක.
ජනාධිපතිතුමා මෙවැනි දේට තිත තබලා, අපි වගේ දේශීය මෝටර් රථ කර්මාන්තකරුවන්ට මේ අයවැයේ දී තිබෙන තැන ඉතාම ප්‍රශංසනීය යි.
ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති, මහින්ද්‍රා සමාගමේ ආයෝජනයක් ලෙසයි, අපේ වැලිපැන්නේ කර්මාන්තශාලාවේ වාහන නිෂ්පාදනය කෙරෙන්නේ. පිටරටින් ගෙන්වද්දී ලක්ෂ 58ක් වන මෝටර් රථය, අපේ ම රටේ නිපදවන නිසා අපිට පුළුවන් වී තිබෙනවා, රු. ලක්ෂ 34කට දෙන්න.
අද ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ හදන කාර් එකේ ප්‍රමිතියයි, අපේ රටේ වැලිපැන්නේ හදන කාර් එකේ ප්‍රමිතියයි දෙකම එකයි. අල්පෙනෙත්ත පවා පිටරටින් ගේන්න පුරුදු වෙලා ඉන්න අපි, අමාරුවෙන් හරි දේශීය දේට මෙහෙම හුරු වුණොත් විතරයි, තමන්ගේ රටේ නිපැයුම්වල අගය වටහා ගන්නේ.
අද ටොයෝටා ඩබල් කැබ් එක හදන්නේ, ජපානයේ නෙවෙයි, තායිලන්තයේ ෆැක්ටරියේ. නමුත් ලෝකය පිළිගන්නේ, එය ජපන් වාහනයක් හැටියටයි. ඒ වගේ තමයි, වැලිපැන්නේ හදන අපේ වාහන එංගලන්තයට යැව්වාම, හැදුවේ කොහෙද කියන එක අදාළ නැහැ. එය ලොව පිළිගත් මහින්ද්‍රා වාහනයක්. තමන්ගෙ රටේ හදන දේවල්වලට වටිනාකමක් දෙන එක, ඒ රටේ ජනතාවගෙත් වගකීම. එතකොටයි, දේශීය කර්මාන්ත පුළුල් වෙන්නේ. දේශීය කර්මාන්ත මත පිබිදෙන ආර්ථිකයක් රටක ගොඩනැගෙන්නේ. පිටරටට ඇදී යන මහා ධනස්කන්ධය මේ රට ඇතුළෙම ඉතිරි වෙන්නේ. අයවැයෙන් උදා කර දී තිබෙන මේ අවස්ථාව කර්මාන්තකරුවන්ට මෙන්ම, රටේ ජනතාවටත් වැදගත් වෙන්නේ ඒ නිසා…”