Friday, September 20, 2024

අයහපත් කාලගුණයෙන් බරපතළ පීඩා රැසක්…

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබේ.

එමෙන්ම අධික වර්ෂාවත් සමග රාජාංගණය ජලාශයේ වාන් දොරටු 10ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකම අඩි 5 බැගින්, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්, කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් මේ වන විට විවෘත කර ඇත.

එමෙන්ම කැනියොන් ජලාශයේ වාන් දොරටු 2ක් අගල් 6 බැඟින් , කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 2ක්, රන්දෙණිගල ජලාශයේ වාන් දොරටුවක් සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු 10ක් ද විවෘතයි.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් මේ වන විට විවෘත කර ඇති අතර තත්පරයට ඝන අඩි 11,000ක ජන පරිමාවක් නිකුත් කෙරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මාවුස්සාකැලේ, කාසල්රි හා රන්ටැඹේ ජලාශ ද පිටාර මට්ටමට පැමිණ තිබේ.

එමෙන්ම, වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, කැලණි, ගිං, නිල්වලා ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටම ට පැමිණ ඇති බැවින් පහත් බිම්වල ජනතාව නිරන්තර සැලකිල්ලෙන් පසුවිය යුතු බවය.

බෙංගාල බොක්ක කලාපයේ අන්දමන් දූපත් අසල පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අද (09) වන විට අඩු පීඩන කලාපයක් බවට පත්වෙමින් වයඹ දෙසට ගමන් කරන බවත්, එය දිවයිනට ළං වීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා දිවයිනේ උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කවලට ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර, කුකුළේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වුණි.

එය මිලිමීටර් 162ක් ලෙසය.

කුකුළේ ගඟ පිටාර ගැලීම නිසා බුලත්සිංහල දමන, ඇටඹගස් හන්දිය ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

බුලත්සිංහල – මෝල්කාව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීමෙන් පාසල් සිසුන්, ගුරුවරුන් පාසල් වෙත පිටත්වුණේ පාරුවකිනි.

කුකුළේ ගඟ මෙන්ම කුඩා ගඟේ ජල මට්ටමද ඉහළ යෑම හේතුවෙන් එම නිම්නවලට අයත් පහත් බිම් ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කළු සහ හංගමුව ගංගා ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මාර්ග, නිවාස, ව්‍යාපාරික ස්ථාන, කුඩා තේවතු හා පතල් රැසක් මෙලෙස ජලයෙන් යටවී තිබුණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ තද සුළං සමඟ වර්ෂාව පැවති අතර, ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අම්බලන්වත්ත ,හිරිඹුර ,කහදූවවත්ත , හෝලුවාගොඩ, ගෝනපුර ආදී ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවුණි.

ගිං ගඟේ ජලය ගලා යාම පහසු කිරීම සඳහා වක්වැල්ල පාලම අසල අපද්‍රව්‍ය ඉවත් කිරීම නාවික හමුදාව විසින් ඊයේ සිදුකරනු ලැබීය.

සුළු ගං වතුරකදී පවා සිය නිවස හා තවත් නිවාස ජලයෙන් යටවන නිසා, ජලය බැස යෑමට කාණු පද්ධතියක් ඉදිකරන ලෙස ඉල්ලා ගාල්ල උළුවිටිකේ කාන්තාවක් අද බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ගොඩනැඟිල්ලක් මතට නැඟ විරෝධතාවයක නිරත වුණි.

පවතින කාලගුණයත් නිසා බලංගොඩ ප්‍රදේශයේ අධික මීදුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

වව්නියාවේ සහ පූනෑවේ මහ කන්නය සඳහා වගා කළ කුඹුරු අක්කර ගණනාවක් කුඩා වැව් වාන් දැමීම නිසා ජලයෙන් යටව තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles