Thursday, November 28, 2024

අර්ජුන්ට අගමැතිගෙන් නව තනතුරක්..

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බලපාන බව රජය පවසා සිටියා. එසේ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දෙන ගැටලු විසඳීමට පත් කෙරුණු දොළොස් පුද්ගල අග්‍රාමාත්‍ය අනු කමිටුවේ කටයුතු ඊයේ සිට ආරම්භ කර ඇති බව සඳහන් වෙනවා. අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ දොළොස් පුද්ගල කමිටුවේ කැඳවුම්කරු වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම්, ජනාධිපති ආර්ථික උපදේශක සරත් රාජකරුණා, ආචාර්ය සමන් කැලේගම, ක්‍රිෂාන් දිසානායක, මහාචාර්ය සිරිමල් අබේරත්න, නිෂාන්ද මැල්, මුර්තසා ජෙෆර්ජි හා අනුෂ්ක විජේසිංහ එම කමිටුවේ සෙසු සමාජිකයෝ වෙති. මෙම කමිටුවේ ප්‍රධාන කාර්‍යය වන්නේ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට බලපාන ආර්ථීකමය කරුණු හමුවේ ආසියාව සමග මධ්‍ය සහ දීර්ඝ කාලීන වශයෙන් සම්බන්ධතා තර කරගන්නා ආකාරය රජයට නිර්දේශ කිරීමයි.

ආරංචි මාර්ග පවසන අන්දමට, චීනය හා ඉන්දියාව සමග ඉදිරියේදී තාක්ෂණ වෙළෙඳ ගිවිසුම්වලට හැකි ඉක්මනින් එළැඹීමද මෙම කමිටුව සතු වගකීමකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන 18 හා 19 දෙදින සිංගප්පූරුවට යාමට නියමිතයි. එම සංචාරයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කර ගන්නා වෙළෙඳ ආර්ථික හා තාක්ෂණ ගිවිසුම් සම්බන්ධ වූ සියලු කටයුතු මෙම කමිටුව විසින් වහාම සම්පූර්ණ කළ යුතුව ඇති බවත් සඳහන් වෙනවා.

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles